hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 02, ප.ව. 12:31



කණ්ඩලම ජලාශයේ ඇරෑවුල දෙසට වැව් තාවුල්ල අත්පත් කර ගැනීම සහ වැව් තාවුල්ලේ ඇති ගස් කොළන් කපා දැමීමේ මහා පරිමාණ ජාවාරමක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ දිනවල සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

දින ගණනාවක සිට මෙම මහා පරිමාණ ගස් කොළන් කපා දැමීම කණ්ඩලම වැව අත්පත් කර ගැනීම සිදු වන බවත් එහෙත් කණ්ඩලම වැව භාරව කටයුතු කරන මහවැලි අධිකාරිය මේ පිළිබඳව කිසිදු අවදානමක් නොදැකීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.

මෙම ජලාශයේ ඇරෑවුල ප්‍රදේශයේ වැව් තාවුල්ලේ තිබූ කොහොඹ, කරද, දඹ, මයිල ආදී විවිධ ගස් රැසක් කපා දමා තිබෙන බවද ජනතාව පවසයි.

මෙම ප්‍රදේශයේ වැව් තාවුල්ල වතුර අඩු වීමත් සමඟ සංවිධානාත්මක කණ්ඩායමය වැව් තාවුල්ල භූමිය කම්ම්බි වැටවල් ගසා අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක්ද සිදු වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙනවා.

වැව් ඉස්මත්ත ප්‍රදේශය විශාල වශයෙන් ගස්කොලන් කපා දමා තිබෙන නමුත් එම ස්ථානවලට ළඟාවීමට නොහැකි වන්නට විවිධ බාධක ඇති වන සේ බඳින තුවක්කු පවා අටවා තිබෙන බව ද ඊට හරස්වන ප්‍රදේශවාසීන්ට රාජ්‍ය නිලධාරීන්ගෙන් හිරහැර සිදුවන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

එම නිසා ප්‍රදේශයට ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් පවතින බව ද පෙන්වා දෙන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මහවැලි අධිකාරියේ කණ්ඩලම ජලාශ භාර කටයුතු කරන  නිලධාරීන්ට මේ පිළිබඳව අවස්ථා ගණනාවක් දැනුම් දුන්න ද කිසිදු  අවධානයක් යොමුවී නොමැති බවයි.

කණ්ඩලම ජලාශය සුන්දරත්වය මෙන්ම කණ්ඩලම වැව් ඉස්මත්ත දැඩි  වනගහනයකින් හෙබි නිසා සුන්දරත්වය මෙන්ම ජලාශයේ ආරක්ෂාව ද විශාල වශයෙන් පැවති බවද පෙන්වා දෙන ජනතාව කියා සිටින්නේ මෙම ජලාශයේ සුන්දරත්වයට පවා මෙය හානි සිදුවන බවයි.

මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා කණ්ඩලම ජලාශය භාරව කටයුතු කරන මහවැලි නිලධාරීන් හමුවීම සඳහා ගිය විට කාර්යාලයේ සේවයේ සිටි නිලධාරියකු කියා සිටියේ මෙම ගස් කොළන් කපා දැමීම, ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව තොරතුරක් ලද නිසා පරීක්ෂණයකට ගිය නමුදු එවැනි විශාල ගස් කොළන් කපා දැමීම නොදුටු බවයි.

කුඩා ගස් කීපයක අතු පමණක් කපා දමා තිබු නිසා එය සිදු කල පුද්ගලයාට කාර්යාලයට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී පැමිණි බව පවසා තිබෙනවා.

කෙසේවෙතත් මහවැලි කලාපයේ නේවාසික කළමනාකරු අසංක ගුණතිලක මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේ දී කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් කිසිදු  නිලධාරියෙකු තමා වෙත එවැන්නක් දැනුම් දී නැති බවයි.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ මහවැලි නිලධාරීන් දැනුවත් කොට මෙම විනාශය නවතා ගැනීම සහ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස