hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:27



මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය එම අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ තිබූ රුපියල් ලක්ෂ 51කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම නිලධාරිනිය පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා අවශ්‍යය ගෙවීම් කිරීමට මෙම මුදල් රැගෙන ගොස් තිබෙන බව විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ.

නගර සභාවට බදු, වරිපනම්, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු ගෙවීම් සිදු කරනු ලබන්නේ සරප් අංශය මගින් වන අතර මෙහි දෛනිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වන බව දැන ගන්නට තිබෙනවා.

දෛනිකව එකතු වන මුදල් පොත්වල සටහන් කර නගර සභාවේ ගිණුමට බැර කළ යුතුයි.

පසුගිය සතියේ නගර සභාවට ගෙවීම් ලෙස ලැබුණු මුදල් වලට අදාළ ගිණුම් සහ ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 51ක පමණ මුදලක් හිඟ බව පෙනී යාමෙන් පසු මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතාගේ  මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.

අදාළ මුදල් නැවත ගෙනවිත් බාර දී සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේම ඉහළ නිලධාරීන් පිරිසක් උත්සහ කර ඇතැයි වාර්තා වන නමුත් නගරික කොමසාරිස්වරයාගේ මෙහෙයවීම ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා දැනුම්වත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ වසර 05කට ආසන්න කාලයක් සේවය කර තිබෙන අදාළ නිලධාරිනිය මෙම වසර අවසානයේ වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට යාමට සූදානමින් සිට ඇති බව ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: