hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 15, ප.ව. 5:22



මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇසළ මස 29 දින සතර මහා දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අලුයම 3.03ට යෙදෙන සුබ මොහොතට කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද (15) පැවැති සාකච්ඡාවකදී දියවඩන නිළමේවරයා මෙම තොරතුරු අනාවරණය කළා.

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු දේවාල පහක් දේවාල අභ්යන්තර පෙරහර පහක් පැවැත්වෙනවා.

අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 02 දින පැවැත්වීමට නියමිතයි.

කුඹල් පෙරහර 02 වනදා සිට 06 වනදා දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.

ප්‍රථම රන්දෝලි  පෙරහර අගෝස්තු මස 07 දින වීදි සංචාරය කරයි.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 11 දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින අලුයම ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙයි.

අනතුරව දහවල් පෙරහර වීදී සංචාරය කර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිත බව දෑල බණ්ඩාර මහතා සඳහන් කළා.