hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 11:47



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව ඇති බැවින් ගාලුමුව‍ෙදාර අරගලය ජයග්‍රහණය කර ඇතැයි අරගලයේ ජාතික මධ්‍යස්ථානයේ සම ලේකම් කැළුම් අමරසිංහ මහතා ඊයේ (24) පැවසුවා.

ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන් පැවැසූ බවත්, ඔහු විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණීම අරගලකරුවන්ට ගැටලුවක් නොවන බවත් සම ලේකම්වරයා සඳහන් කළා.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අරගලයේ ජාතික මධ්‍යස්ථානය ආරම්භ කරමින් පැවැති උත්සවය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  කැළුම් අමරසිංහ මහතා,

“ගාලුමුව‍ෙදාරට සමගාමීව තව ගෝඨාගෝගම් දහයක් බිහිවුණා. ඊට අමතරව ලෝකය පුරාත් ගෝඨාගෝගම් හැදුණා. ලන්ඩන් ගෝඨාගෝගම ඉතාම සක්‍රීය වුණා. ඉතාලියේ, ජපානයේ පවා හැදුණා. මේ අරගලය ප්‍රජා පාදක අරගලයක් කියන්නේ ඒකයි. දේශපාලන පක්‍ෂයකට, ආගමකට, ජාතියකට සින්න කරන්න බැරි අරගලයක්. හැමදාම ගාලුමුව‍ෙදාරදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මාස හතරකට ආසන්න කාලයක් තිබුණු වීදි සටන්වලදී තුවාල ලබපු, ගුටිකාපු, වෙඩිකාපු, මියගිය අයගේ ලේඛනයක් හදන්න. අපි ගාව තියෙනවා ලේඛනයක්. කවුද තුවාල ලැබුවේ, කාටද වෙඩි වැදුණේ, කාටද කරදර වුණේ කියලා අපි ගාව තොරතුරු තියෙනවා. ඒ ලේඛනය ගත්තාම සියයට පහකට වඩා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නියෝජනය කරපු එක්කෙනෙක් ඉන්නව නම් කියන්න, මම මේ අරගලයේ ජාතික ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. මම වගකීමෙන් කියන්නේ එසේ වුණොත් තවදුරටත් අරගලයේ ජාතික ව්‍යාපාරයේ වැඩ කරන්නෑ. සාම්ප්‍රදායක දේශපාලන පක්ෂ සාමාජිකයන් කිව්වේ ඡන්දදායකයන් නෙමෙයි, අරගලය නියෝජනය කරමින් වැඩකළ ක්‍රියාකාරකයන්.

අරගලයට කුමන්ත්‍රණ කළා කියලා අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් සහෝදර ශිෂ්‍ය නායකයන් දෙන්නෙක් ඇතුළේ දාලා තියෙනවා. අපිට ප්‍රසිද්ධියේ කියන්න වෙනවා පාලකයෝ මෝඩ කතා කියන්න ලෑස්ති වෙන්න එපා. මේකෙ කොහේවත් කුමන්ත්‍රණ තිබුණේ නෑ. මේක විවෘත අරගලයක්. ඒකයි මේක නිර්ප්‍රචණ්ඩ වුණේ. ඒකයි මේක ආදරණීය වුණේ. ඒ නිසා වසන්ත හෝ වෙන කිසිම කුමන්ත්‍රණකාරයෝ හිටියේ නෑ. මේකේ කුමන්ත්‍රණ තිබුණේ නෑ, මේකේ තිබුණේ අවංකකම විතරයි. වසන්තලාට ඔය කරන වැඩේ තනිකර ගොන්පාට් එකක්.

සමහර පාතාලයේ නායකයෝ අත්අඩංගුවට ගත්තාම ආයුධ පෙන්වන්න අරන් ගියා කියලා පොලිසිය හැම තිස්සෙම හදපු කතන්දරයක් තිබ්බා. මෙහෙම මතවාද මෙහෙයුමක් කරනවා. කිසිම මිනිසෙක් මරාදාන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. උසාවි තීන්දුවකින් හැර දඬුවම් කරන්න බෑ. අතපය උස්සන්න බෑ. මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන්න බෑ. මුළු ලෝකෙම ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ටත්වයට ගමන් කරමින් සිටිනවා. මුළු ලෝකෙම නිර්ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට ගමන් කරමින් සිටිනවා. මුළු ලෝකෙම නිදහස් අහිමිවීමේ සිට නිදහස් දක්වා ගමන් කරමින් සිටිනවා. ලෝකය සංවර්ධනයේ දිශානතියේ තියෙන්නේ. පරණ අණපනත් කුණු කූඩයට දාලා අලුත් අණපනත් සම්මත කර ගන්නවා.

දැනට ලංකාවේ තියෙන මහජන ආරක්ෂක පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය යන මේවා පැරැණි නෛතික මෙවලම්. ඒවා කුණු කූඩෙට දාන්න ඕන. නමුත් පාලකයන්ට මෙන්න මේ වගේ වෙලාවට මේවා ඕන වෙනවා. මුළු රාජපක්ෂ රේජීමයම පරාජය කරලා අපි මේ අරගලය ජය ගත්තා. අපි රටේ තිබුණු ජාතිවාදි විස නැති කරලා දැම්මා. මේක මේ නිර්දන පන්තියේ අරගලයක් නෙමෙයි. මේක සාමුහික නව නිදහස් අරගලයක්. හරියට අර්ථ දක්වන්න මේකට විවිධ වැරැදි අර්ථකථන දෙන්න එපා. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පටු තැනට ලඝු කරන්න ඉඩ දෙන්නේ නෑ කියන අදහසට ආපු නිසා අපි මේ මධ්‍යස්ථානය ගොඩනගන්න තීරණය කරේ. මේකත් විවෘත තැනක්.”

අපි අරගලය දිනලා ඉවරයි. ඉතුරු වෙච්ච අරගලයක් තියෙනවා. ඒක වෙන කතාවක්. අපි මේ අරගලයට නැවතීමේ තිත තියලා ඉවරයි. මොනවද සටන් පාඨ. ගෝඨා ගෝ හෝම් ගෝඨාභය ගෙදර යැව්වේ නැද්ද? ගෙදර යන්න කිව්වාම රටම ගියා. අපි දන්නේ නෑ ගෙදර තියෙන්නේ මිරිහානේ. අපි කිව්වේ මිරිහානට යන්න කියලා. එයා රට ගියා. ඉතින් රට ගිය කෙනා ගෙන්න ගන්න හැටි අපට අදාළ නෑ. මොකද හේතුව එයාට අපි කිව්වේ ගෙදර යන්න. ජනාධිපතිකම අත්හරින්න. ඉතින් අරගලයේ බලපෑමෙන් අත්හරින්නේ නෑ කියපු කෙනා අත්හැරියා. ඒ වගේම තමයි මුළු රාජපක්‍ෂ රෙජීමයම පරාජය කරලා අපි මේ අරගලය ජය ගත්තා. අපි රටේ තිබුණු ජාතිවාදී විස නැතිකරලා දැම්මා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: