hit counter

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 13, ප.ව. 3:21



හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්  ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක් පළ කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ “ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න.” යනුවෙනි.

එමෙන්ම එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ දැක්වෙනවා.

ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්

ලොව පුරා සිටින පෙම්වතුන් සමරණ ආදරණීය දිනයක් වන ආදරවන්තයින්ගේ දිනය ලෙස පෙබරවාරි මස 14 හඳුන්වනු ලබනවා. වර්තමානය වන විට මෙම දිනය හුදෙක් ආදරය ස්මරණය කරන දිනයක් පමණක් නොව බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන දිනයක් ලෙස වාර්තා වී තිබේ.

බොහෝ අපරාධකරුවන් මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම දිනය උගුලක් කර ගනිමින් තරුණ ජීවිත බිලි ගැනීමට සූදානම්ව සිටී. ඒ සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් නීති විරෝධී සාද, පිය සම්භාෂණ සංවිධාන කරන පිරිස් මෙන්ම අන්තර්ජාල අපරාධ ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන සංවිධානාත්මක පිරිස් පිළිබඳව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වේ.

මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වලට තම දරුවන් විශේෂයෙන් බාලවයස්කාර දරුවන් යොමු වීම වැළැක්වීම වෙනුවෙන් දෙමවුපියන්ගේ නිරන්තර අවධානය ඉතා වැදගත් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව වැලන්ටයින් මුවාවෙන් සිදු කරන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්ට යොමු වීමේ අවධානමක් වර්තමානය වන විට වැඩි වශයෙන් දක්නට ලැබේ.

ඇතැම් ව්‍යාපාරිකයන්ද ආදරවන්තයින්ගේ දිනය මුල් කර ගනිමින් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් විවිධ කූඨ උපක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි. වර්තමානයේ ඇති වී තිබෙන මෙම තත්වය යටතේ ආදරවන්තයින්ගේ දිනය තුල සිදුවන සමාජ විරෝධී ක්‍රියාවන් වලට හසු නොවී සිටීමටත් එයින් දරුවන්ව මුදවා ගැනීමටත් දෙමවුපිය වැඩිහිටි සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

ආදරය ලෙස අප සමාජගත කළ යුතුවන්නේ කරුණාව, ගෞරවය, ඉවසීම, පරිත්‍යාගශීලී බව වැනි මානව හිතවාදී ගුණාංගයන් මිස රැල්ලට යනු ලබන තමන්ටත් සමාජයටත් අහිතකර වන ක්‍රියාවන් නොවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: