hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 04, ප.ව. 9:12



අම්බලන්තොට අද (04) පැවැති උත්සවයකට සහභාගි වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මේ හේතුවෙන් කෘෂිකර්ම ඇමතිවරයා විරෝධතාකරුවන් මගහැර අදාළ ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම වැඩසටහන ආරම්භ වී තිබුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

වැඩසටහන පැවැත්වෙන අතරවාරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට සිය විරෝධය පළ කළා.

වැඩසටහන අවසන් වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය වරයාගේ නිල රථය ඉන් පිටතට පැමිණියත් අමාත්‍යවරයා එහි නොසිටීමත් සමඟ විරෝධතාකරුවන් නොසන්සුන් වුණා.

මේ අතර පොළොන්නරුව ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් සඳහා යල කන්නය වගා කිරීමට කාබනික දියර පොහොර සහ පොස්පේට් පොහොර ලබාදීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් නියමිත කලට පොහොර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් පොළොන්නරුව – තඹල වැව යටතේ වගා කරන ගොවීන් මෙවර යල කන්නයේ ගොවිතැන් කිරීම නවතා දුම්කොළ වගා කිරීම ආරම්භ කර තිබෙනවා.

මාතර වරකාපිටිය ප්‍රදේශයේ ගොවීන්ද පොහොර නොමැතිකමින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගොඩ සහ මඩ වගාවන් දෙකම සිදුකළ ගොවීන් මැසිවිලි නඟන්නේ නිසි කලට පොහොර නොමැති වීම හේතුවෙන් තම අස්වනු පාළුවට ගොස් ඇති බවයි.

මේ අතර, අනුරාධපුර ඔත්තප්පුව ප්‍රදේශයේ ගොවීන් වී ගොවිතැනින්න ඈත්වී සෝයා වගාවට ප්‍රමුඛත්වයක් දී තිබෙනවා.

ඔවුන්ද මැසිවිලි නඟන්නේ නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් තමන් විකල්ප වගාවකට යොමුවූ බවයි.