hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 26, ප.ව. 8:37



කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

“නෝ ඩීල් ගම” අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මහජන පීඩාවක් සිදුවන ආකාරයට විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝගයක් නිකුත් කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කුරුඳුවත්ත පොලිස් වසමේ 5වන පටුමග සහ ඒ අවට මාර්ග හා පාසල් ද අවහිර වන පරිදි විරෝධතා පැවැත්වීම වළක්වාලමින්.

කුරුඳුවත්ත පොලීසිය වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙරුණා.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිහිටි කුරුඳුවත්ත පස්වන පටුමගේ අට්ටාලයක් ඉදිකරමින් විරෝධතා පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එවැනි ක්‍රියාවක් සිදුවූවොත් මංමාවත් අවහිර වී අවට පාසල්වලට අවහිර වීමක් සිදුවන බවත් එමෙන්ම මහජන පීඩාවක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ ක්‍රියාව සිදුකිරීම වළකාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98වන වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පසුව එම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අරගලකරුවන්ට ඒ බව දැනුම්දීමෙන් පසු ඔවුන් සඳහන් කළේ අධිකරණ නියෝගයට ගරු කරමින් මේ අවස්ථාවේදී එම ස්ථානයෙන් ඉවත්වෙන බවයි.