hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 9:22



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අතින් කිසියම් අතපසුවීමක් සිදුවූයේ නම් එය පිළිගතහොත් එම සිදුවීම අමතක කිරීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පිරිසකට නිවාස ලබා දීමේ අවස්ථාවට මීගමුව ප්‍රදේශයේදී ඊයේ එක්වෙමින්.

නීතිය අවශ්‍ය ආකාරයෙන් හරවාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් අත සෝදාගනිමින් ඉදිරියටත් වීරයින් ලෙස සිටීමට හැකි බව යමෙකු සිතන්නේ නම් එය වැරදි බව ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කර සිටියා.

පාස්කු දින ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සාරංශයේ මෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේත් තිබෙන බව කී කාදිනල්තුමෝ එසේ තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව කන්, ඇස් හා නාසයකුත් නැති ආකාරයෙන් සද්ද නොකර සිටින බව සඳහන් කළා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන බවට හිටපු ජනාධිපතිවරයා තමාට පෞද්ගලිකව පොරොන්දු වූ නමුත් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අතට ලැබුණු දිනට පසුදින තමා අමතා ‘මම කොහොමද මේ ඔක්කොම කරන්නේ’ යැයි කී බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුවා.

එහි අදහස එතුමාට කරන්න බැරි නිර්දේශත් එහි තිබූ බව යැයි කී කොළඹ අගරදගුරුතුමෝ ‘නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනෑ ඔබතුමා නෙවෙයි පොලිසියට උසාවියට භාරදෙන්නැයි’ තමන් එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සඳහන් කර සිටියා.

එම ප්‍රහාරය එල්ල වූ සමයේ රටේ ආරක්‍ෂාව භාරව සිටි ප්‍රධානියා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් ජනාධිපති මුක්තිය ඉල්ලමින් හැංගෙන්න හදන්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව ද කාදිනල්තුමෝ සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“හිටපු ජනාධිපතිතුමා මට පෞද්ගලිකව පොරෝන්දු වුණා. මේ ගැන විනිවිද පේන නිදහස් පරීක්ෂණයක් කරනවා කියලා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එතුමා වෙතට ආව දිනයට පහුවෙනිදා  මට කෝල් කරලා අහනවා මම කොහොමද මේවා ඔක්කෝම නිර්දේශ කරන්නේ කියලා. ඒ කියන්නේ එතුමාට කරන්න බැරි නිර්දේශත් ඒකේ තිබුණා. මම කිව්වා ඔබතුමා නෙමෙයි නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ පොලීසියට, උසාවියට භාරදෙන්න. ඒකට එතුමා මොකුත් කිව්වේ නැහැ. සිරිසේන ජනපති නේද  ආරක්ෂාව භාරව හිටපු පළවෙනියා ? ඇයි එයා ජනාධිපති මුක්තිය ඉල්ල ඉල්ල හැංගෙන්න හදන්නේ ? මේක පිටුපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා කියන එක පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සමරි එකේ තියෙනවා. ඒ වගේම පාස්කු කොමිෂන් සභා වාර්තාවෙත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත්  තියෙනවා.  අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා නමුත් ඒවා විග්‍රහ කරන්න ඒ් අය කිසිම උනන්දුවක් ගන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට කනුත් නැහැ. ඇසුත් නැහැ. නහයකුත් නැහැ. මොකුත් කෙරෙන්නේ නැහැ වගේ ඉන්නවා සද්ධ නොකර. බීරි අලි ටිකක්නේ දැන් අන්තිමටම ඇවිත් ඉන්නේ. මහ අලියෙකුයි එයාගේ රැලයි. ඒ අයට වීණා වාදනය කරලා වැඩක් නැහැ. බුද්ධාගමේ තියෙනවා දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. ඔබ හිතනවානම් නීතියක් ඔබට ඕනේ විදිහට හරවගෙන මේකෙන් අතහොදගන්න පුළුවන් කියලා ඉදිරියටත් වීරයෝ වගේ පෙනී ඉන්න පුළුවන් කියලා, හිතනවානම් ඔබ වැරදී. ඔබ පස්සෙන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පස්සෙන් එනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: