hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 6:34



රට තුළ ක්‍රියාත්මක දූෂිත ක්‍රමවේදය නැති කිරීමට නම් අධ්‍යාත්මික පරිවර්තනයක් සමාජය තුළ ඇතිවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, රාගම – තේවත්ත – ජාතික බැසිලිකාවේ පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යට එක්වෙමින්.

අවුරුදු 75ක් පුරා රට තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව රට තුළ නොබෝදා සි දුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත්, සමාජීය වෙනසක් ඇතිකිරීමට නම් සියලු දෙනා ජීවිත වෙනස් කරගත යුතු බවත් කාදිනල් හිමියන් සඳහන් කළා.

ධර්මිශ්ට සමාජයක් ඇති කරන බව කියමින් බලයට ආ නායකයන් කණ්ඩායමක් පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය ඇති වූ බවත්, ආසියාවේ ආශ්චර්යය කරන බව කී කාලයේ විශාල කුලුනක් හදාගෙන ඇති බවත්, සෞභාග්‍ය කී කාලයේ මිනිස්සු මිලියන හයකට කන්න තිබෙන්නේ එක වේලක් බවක් කී අගරදගුරුතුමෝ එම ක්‍රම වෙනස් විය යුතු බව ද ප්‍රකාශ කළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසා දැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් හිමියන් පැවසුවා.

මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතු බවත්, නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බිය විය යුතු නැති බවත් අගරදගුරුතුමන් වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: