hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 22, පෙ.ව. 9:15



2001 වසරේදී තායිලන්ත රජයෙන් දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද දිගු දළ යුගලක් හිමි මුතුරාජා නැමති හස්තියා අලුත්ගම කන්දේ විහාරයට ලබා දීමෙන් පසු එම හස්තියා කෲර වද හිංසන වලට ලක්වී තිබුණු බවට රාජ්‍ය නොවන සංවිධානයක් වූ රෙයා නැමැති සංවිධානය ප්‍රකාශ කර තිබුණා.

මෙම හිංසන ක්‍රියා පිළිබඳව විමසිල්ලෙන් සිටි රෙයා නමැති සංවිධානය හිංසන ක්‍රියා තුළින් රෝගී තත්වයෙන් පසු වූ මේ හස්තියා පිළිබඳව වනජීවී නිලධාරීන් වෙත පැමිණිලි කර තිබුණා.

නමුත් එම පැමිණිලි සම්බන්ධයෙන් වන ජීවීයෙන් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නොලද බැවින් රෙයා සංවිධානය කොළඹ තායි තානාපති නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගත්තා.

රෙයා සංවිධානය තායිලන්ත තානාපති නිලධාරීන්ගේ පිහිට පතා ගියේ සත් සුරින් වශයෙන් තායි භාෂාවෙන් නම් තැබූ මුතුරාජා හස්තියා 2001 වසරේදී අපේ රටට ත්‍යාගයක් වශයෙන් තායි දේශයෙන් ලැබුණු ඇත් රජෙක් නිසයි.

මුතුරාජාගේ රෝගී තත්ත්වය පිළිබඳව තායි තානාපති නිලධාරීන් මඟින් දැනුවත් වූ තායි රජය තීරණය කළේ දැනට දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රතිකාර ලබමින් සිටින මුතුරාජා ආපසු තායිලන්තයට ගෙන යාමටයි.

“මුතුරාජා” හස්තියා තායිලන්තය වෙත රැගෙන යාමට තමන් එකඟතාව පළ කළේ, එම හස්තියා නැවත මෙරටට ලබාදීමේ පොරොන්දුව මත බව කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, රෝගාතුරව සිටින “මුතුරාජා” හස්තියා තායිලන්තයට ගෙන ගොස් සුවපත් කර යළි මෙරටට ලබාදීමට මෙරට තායිලන්ත තානාපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අතරේ ඊයේ (21) අලුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් මුතුරාජාගේ සුවදුක් බැලීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණ තිබුණා.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“මෙයා මගේ භාරකාරත්වයට ඇවිල්ලා තාම අවුරුදු හතරයි වෙන්නේ. අපේ නායක හාමුදුරුවෝ අපවත් වෙලා වසරකට පස්සේ මට භාරකාරත්වය පැවාරෙනවා නිල වශයෙන්. අවුරුදු හතරක ඒ කාලසීමාව තුළ මම ඉතාමත්ම හොඳින් දරු සෙනෙහසින් මේ සතාව බලාගත්තේ. රෑ එකොළහට මෙයා කෑගහනකොට බඩගිනි වෙලා මම මේ පොඩි හාමුදුරුවන්ව යවනවා. මද කිපිච්ච ඇතෙක් අලියෙක් ලඟට ලෝකේ කිසිම කෙනෙකුට යන්න පුළුවන්කමක් නෑ. හැම මදි තිබුණු ඇතෙක්ම හරිම සැරයි. එයාව තනි අලියා කියලා හඳුන්වන්නේ කැලේදි. ඒ අලියා ළඟට ලෝකේ කොහේ හරි එහෙම අලියෙක් යන්න පුළුවන් නම් ඒ අපේ මේ මුතුරාජා විතරයි. මුතුරාජා ළඟට පොඩි උන්නාන්සේලා, පුංචි හාමුදුරුවරු යනවා.

මද වෑහෙනකොට ගිහිල්ලා කටේ අත දාලා කන්න දෙනවා. දළ අල්ලගෙන කන්න දෙනවා. ඒ විදිහට ආදරෙන්, සෙනෙහසින් හදාගත්තු සතෙක්. නොයෙක් විදිහේ නින්දා, අපහාස වන ප්‍රකාශ අපේ මිඩියා වලින් ප්‍රචාරය කරනවා. නිරතුරුවම කියනවා එහෙම ඒවා එහෙම එකක් නෑ. මේ සතා කුණුවෙලා පණුවෝ දාලා හිටියා කියලා කියනවා. එහෙම එහෙකුත් නෑ. එහෙම උනෙත් නෑ. කකුලේ තිබිච්ච ඉස්සරහ වම් කකුලේ තිබුණු ආබාධයකට ඒ කාලෙත් වෙදකම් කළා. මම ආවට පස්සේ මම බාර අරගෙන දේශීය වෛද්‍ය ක්‍රම, බටහිර වෛද්‍ය ක්‍රම දෙකම යොදාගෙන හොඳට වෙදකම් කළා. නිට්ටාවට සනීප කරගන්න බැරි වුණා. ඔය අතරතුරේදී මේ මාධ්‍යවලින් නරක විදිහට මේ සතා ගැන කැත හැඳින්වීමක් කළා. දිගට හරහට ගහන්න පටන් ගත්තා. මම මේ නිකන් පැත්තක ඉඳලා බැනුම් අහන්න වුණා. තායි තානාපතිතුමා නිරන්තරයෙන්ම කන්දේ විහාරයට ආවා ගියා. මාත් එක්ක සම්බන්ධතා තියෙනවා. තායිලන්තයෙන් ටීම් එකක් වෛද්‍යවරුත් එක්ක ඇවිල්ලා කීප වතාවක් බලලා මට උපදෙස් දීලා ගියා මේ මේ විදිහට කරවන්න කියලා. ඒ ටික ඔක්කෝම මං ඒ විදියට කෙරෙව්වා. එහෙමත් තියෙන අතරතුරේදී අවසාන වශයෙන් පිරිසක් තායිලන්තයට ගිහිල්ලා බාරදීලා තියෙනවා මේ ඇතාව මරන්න හදනවා.

මරාගෙන කන්න හදනවා කියන එකේ කැත ප් රකාශ තමයි ගිහිල්ලා කරලා තියෙන්නේ. ඒගොල්ලෝ එහේ ඉඳලා මේවා දන්නේ නැතුව සතාව අපි එහෙනම් තායිලන්තෙට ගෙනිහිල්ලා සුවපත් කරලා ගෙන එන්නම් කියන ඒ ඉල්ලීම මගෙන් කළා. මං කිව්වා සතා වෙනුවෙන් සතාගේ සුබසිද්ධිය වෙනුවෙන් ඕනෑම දේකට මං එකඟ වෙනවා. එහෙමනම් සතා ගෙනිහිල්ලා සුවපත් කරලා අපිට ආපහු ගෙනල්ලා භාරදෙන්න කියලා. ඒ පොරොන්දුව පිට තායි තානාපතිතුමාට මම මේ කතාව දෙන්න එකඟ වුණා. ඒක ලිඛිතවම දීලා තියෙනවා. හෙන්ඩු අරන් එන්න කිසිම අලි බාස් කෙනෙකුට මේ සතාට අනින්න තහනම්. අනින්න දුන්නෑ. අනපු අය දෙන්නෙක්, තුන්දෙනෙක් විතර මන් ගහලා එලෙව්වා. සතාට ආදරයෙන්, සෙනෙහසින්, ගෞරවයෙන් තමයි මේ සතාව අපේ කන්දේ විහාරේ ඇතා කියන හැඟීමෙන්මයි අපි බලාගත්තේ. මේ හාමුදුරුවොන්ට මේ අපි අතේ නැහැනේ. හෙන්ඩු නෑ. මොනවක්වත් නෑ. අපේ තියෙන මෛත් රිය, කරුණාව මෙයා හඳුනගෙන තියෙනවා හොඳට. ඒ නිසා තමයි මං ආපු හැටියෙම දණ කියපු ගමන්ම එයා වඳිනවා. ඒ මට්ටමට හුරු පුරුදු වෙච්ච, සිවුරට එකඟ වෙච්ච සතෙකුට තමයි මේ නින්දා අපහාස කරන්නේ.

මේ ගෙඩි දෙකක් දෙපැත්ත වගේ තියෙනවා. ඒක ලෙඩ වෙලා ඉන්න කාලේ ගිරිඋල්ලේ තියාගෙන ඉඳලා, එහේ හිටපු වෛද්‍යවරයෙක් ඇන්බයටික්ස් ඉන්ජෙක්ෂන් දෙකක් ගහලා තියෙනවා. ඒ දෙකෙන් මතුවෙච්ච ගෙඩි දෙකක් ඔය තියෙන්නේ. ඕක පණු ගෙඩියක්, සැරව ගෙඩියක් කියලා මවාපාලා බිල්ලෝ මැව්වා. එහෙම එකක් නැහැ. මේක අවුරුදු දොළහකට, පහළොවකට කලින් වෙච්ච සිද්ධියක්. ඉතින් ඒක මම දන්නෑ කොහොම වුණාද මොකක්ද කියලා දන්නෑ. මම සෑහෙන්න උත්සාහ දැරුවා. බෙහෙත් කරලා යථා තත්වයට ගන්න. නමුත් තාම අපහසු වෙච්ච නිසා තමයි ඒ ඩොක්ටර්ස්ලා මට කිව්වා තායිලන්තයේ අලින්ට වෙදකම් කරන වෙනම ආයතන පහක් තියෙනවා. එයින් එක් තැනකට ගෙනිහිල්ලා මේගොල්ලන්ට පිසියෝතෙරපි වගේ කරන ඒවා. එහිදී කරන්න පුළුවන් ඒකට අපි එක්ක යන්නම් කියලා.

මට රත්තරන් බුදු පිළිමයක් දීලා මෙයාව අරගත්තයි කියලා ඔය කියන්නේ. රත්තරන් බුදු පිළිමයක් ඔය විදිහේ පිළිමයක් මෙහෙට ගේනවා නම් මං හිතන්නේ කෝටි ගාණක් වටින එකක් එයාර්පෝර්ට් එකෙන් එහෙම ගෙනෙන්න දෙයිද දන්නෑ. කස්ටම් එකෙන් එහෙම. මූලික බොරු හද හදා මේ කියන කතා වලට මේගොල්ලන්ට ඇත්තටම කටට කුණු කතා හද හදා කියන, ජරා කතා කියන මිනිස්සු. මේ ඇතාව නොදැක්ක අය තමයි ඇතා ගැන වැඩිපුර ලියන්නේ. ඇතා ඉන්නේ කොහෙදවත් කියලා දන්නේ නැතුව, ඇතාව අඳුරන්නේ නැති අය, ඇතා ගැන නොයෙක් කතා. මේවා මේ ගොන් කතා. හදන කතා. මම තායිලන්තයේ හත් අට වතාවක් ගිය කෙනෙක්. මට අමුතුවෙන් තායිලන්ත ගිහිල්ලා ඔය කාගෙවත් පහසුකම් ලබා ගන්න ඕනෙත් නෑ. මම දන්නා හඳුනන හාමුදුරුවරුත් ඉන්නවා. දන්නා හඳුනන පිරිසකුත් ඉන්නවා. අපේ සිංහල අයත් ඉන්නවා. මට ඕන වෙලාවක තායිලන්තයට ගිහිල්ලා ඉන්න තැන් තියෙනවා. පන්සල් තියෙනවා. අමුතුවෙන් එහෙන් මේ කෑම ඉල්ලගෙන එහේ ගිහිල්ලා පිණ්ඩපාතේ යන එකට යන්න ඕන කමක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: