hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 5:50



“ජනාධිපතිතුමා, මේ ලඟදි කියල තිබුනා ටයිටැනික් නැව හිම කන්දේ හැපිලා දැන් අපි ඉන්නේ හිම කන්දේ කියලා. මම නම් හිතන්නේ එතුමාට වැරදිලා.” පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසූවේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

“ජනාධිපතිතුමා, මේ ලඟදි කියල තිබුනා ටයිටැනික් නැව හිම කන්දේ හැපිලා දැන් අපි ඉන්නේ හිම කන්දේ කියලා. මම නම් හිතන්නේ එතුමාට වැරදිලා. මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ තෙල් ඉවර වෙලා මූදෙ ගිලෙන සබ්මැරීන් එකක වගේ කියලා. සබ්මැරීන් එක ඇතුලේ තාම ඔක්සිජන් තියෙන නිසා ඇතුලේ ඉන්න අය හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ලඟදිම ඔක්සිජන් ඉවර උනාම ඔක්කොම මැරෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙහෙම කියන්නේ කියලා. මේ අවුරුද්ද පටන් ගන්න කොට අපට තිබුණා ඩොලර් බිලියන 7 ක් විදේශ ණය ගෙවන්න. ඉන් ඩොලර් බිලියන 3 ගෙව්වට පස්සේ රට බංකොලොත් කියලා අපි ඉතුරු බිලියන 4 ගෙවන එක පැහැර හැරියා. දැන් අපි ඉන්නේ ණය ගෙවන්නේ නැතුව හැංගිලා මිනිහෙක් ඉන්න ආතල් එකේ. හැබැයි හැමදාම ණය නොගෙවා ඉන්න බෑ කවදා හරි ගෙවන්න වෙනවා. අපිට මේ වන විට නොගෙවූ විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 49 විතර. ඕවා ගෙවන්න පටන් ගත්ත දාට අවුරුද්දකට ඩොලර් බිලියන 7 ක් විතර ගෙවන්න වෙනවා. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ණය ගත්තා කියලා මේ ණය ඩොලර් බිලියන 49 ගෙවන්න බෑ. ඒක ගෙවන්න නම් රට සංවර්ධනය කරන්න ඕනේ සල්ලි හොයන්න. නමුත් දැන් රට සංවර්ධනය වෙනවද ? .රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට රට පාලනය කරපු 2015-2019 කාලේ රටේ ආර්ථික සංවර්ධන වේගය 5% සිට 2.3% ට අඩු උනා. ඊට පස්සේ 2020 කොවිඩ් ඇවිත් සංවර්ධන වේගය ඍණ උනා. හැබැයි 2021 රටේ ආර්ථික සංවර්ධන වේගය 3.6% ට වැඩි උනා. දැන් කොහොමද ආර්ථික සංවර්ධනය ? මහ බැංකු වාර්ථා අනුව 2022 පලවෙනි කාර්තු දෙක ඉවර වෙන කොට රටේ සංවර්ධන වේගය -8.1% යි. දැන් පුරෝකතනය කරන විදියට අවුරුද්ද ඉවර වෙන කොට වර්ධන වේගය – 8.4% වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සංවර්ධනය වෙනවා වෙනුවට තවත් සංකෝචනය වෙලා. ඉතින් කොහොමද අපි ගොඩ එන්නේ. දැන බලන්න අපිට තිබුන මූලිකම ගැටලුව පහුගිය කාලේ ඩොලර් හිඟය. තෙල්, ගෑස්, ඖෂධ ඔක්කොම නැතු උනේ ඒ නිසා. දැන් කොහොමද අපිට ඩොලර් එන ප්‍රමාණය. 2020 අපට ඩොලර් බිලියන 7 ක විදේෂ ප්‍රේෂණ ලැබුනා. මේ අවුරුද්දේ පලමු භාගය ඉවර වෙනකොට ලැබිලා තිබුනේ ඩොලර් බිලියන 1.6 යි. ඒ කියන්නේ මොනම විදියකින්වත් මේ අවුරුද්ද තුල අපට ඩොලර් බිලියන 3.5 කට වඩා විදේශ ප්‍රේෂණ ලැබෙයි කියලා හිතන්න බෑ. එතකොට සංචාරක ව්‍යාපාරය ? 2018 අපට ඩොලර් බිලියන 4.3 ක ආදායමක් තිබුනා. මේ අවුරුද්දේ මුළු ලෝකෙම සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුනත් අපේ එහෙම වෙන්නේ නෑ. 2022 අපට ඩොලර් බිලියන 1.5 කට වඩා ආදායමක් ලැබෙන පාටක් නෑ. දැන් යන විදියට මොකද තව මාස දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදියට ඉදිරියට අපේ ඩොලර් අර්බූධය තවත් දරුණු වෙනවා.

අපි විවේචනය කර කර ඉන්න කැමති පිරිසක් නෙමෙයි. අපි ප්‍රශ්ණ කියනවා වගේම හැම තිස්සේම විසඳුමත් කියනවා. මම කියන්න කැමතියි මේ වෙලාවේ රටේ ආර්ථිකය යලි සක්‍රීය කරගන්න නම් ආන්ඩුවේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන ක්ෂේත්‍ර 10 ක් ගැන.

පළමු වැන්න බිඳ වැටුන ආර්ථිකය ගොඩ ගෙන යලි වේගවත් සංවර්ධන මාවතකට යොමු කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකත්වයට සහ වෙළඳපොල තරඟකාරීත්වය සඳහා උපරිම වශයෙන් ඉඩ ප්‍රස්ථා විවෘත කරන්න. තියෙන ව්‍යාපාරත් වසාදමන පරිසරය වෙනස් කරල අළුතින් ව්‍යාපාර පටන් ගන්න, තියෙන ව්‍යාපාර තවත් දියුණු කරගන්න ව්‍යවසායකයන් දිරි ගන්වන, තරඟකාරීත්වයට සැබෑ නිදහස ලැබෙන පරිසරයක් සෑදීමට ආන්ඩුව පෙරමුණ ගන්න.

දෙවෙනි එක රාජ්‍ය යාන්ත්‍රණය කාර්‍යක්ෂම කරන්න අත්‍යවශ්‍ය දෙයක් වන රාජ්‍ය ආයතන දෙපාර්තුමේන්තු ඩිජිටල් කරණය දැන වත් වේගවත් කරන්න. ආන්ඩුව මේ පහසුකම් සපයන්නේ නැතුව ව්‍යාපාරිකයන්ව දිරිමත් කරන්න බෑ. දූෂණය හා වංචාව පාලනය කිරීමටත් ජාත්‍යන්තරව පිළිගත් හොඳම විසඳුමක් වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයයි.

රජය බදු එකතුකිරීම කරණ ප්‍රධාන ආයතන තුන වන ආදායම් බදු දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තුමේන්තුව හා රේගුව කාර්‍යක්ෂම හා දූෂණයෙන් තොර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම හඳුන්වා දෙන්න

කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා යන ක්ෂේත්‍ර තුනේම අපනයන ප්‍රවර්ධනයට වැඩි අවධානයක් දෙන්න. ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා හොඳම අවස්ථාව පවතින්නේ ගෝලීය වෙළදපොල ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායන් තුළයි.

ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය ප්‍රමුඛතාවක් කරගන්න. ඒ සඳහා තියෙනා ආකල්පමය, නීතිමය හා පරිපාලන බාධා හැකි ඉක්මනින් ඉවත් කරන්න කටයුතු කරන්න. විදේශ ආයෝජකයන්ව ලංකාවට ආකර්ශණය කර ගැනීමේදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ලංකාවේ නිෂ්පාදනයන්ට ගෝලීය වෙළඳපොල තුල තරඟකාරී වීම සඳහා මග විවෘත කරනා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ප්‍රමාණය ඉතා සීමිත වීමයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.

රටට විශාල බරක් වී තිබෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්න. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියා ලාබ ලබන ආයතන කුණු කොල්ලයට විකුනන එක වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර, රාජ්‍ය ආයතන නිසි නියාමනයක් යටතේ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් වලට යන්න.

වසර 74 තිස්සේ අපේ රටේ ආර්ථිකය විනාශ කල දූෂණ හා වංචා දැන්වත් මර්ධනය කිරීමට රජයේ ප්‍රමුඛත්වයක් දෙන්න. දශක ගනනාවක් තිස්සේ අපේ ජනතාවගෙන් කොල්ල කෑ ධනය ආපසු ජනතාවට ලබා දෙන්න නීති සකස් කොට ඒවා ක්‍රියාත්මක කරන්න.

කුඩා රටක් වන අපේ රටේ ඇති සීමිත ඉඩම් වලින් 80% පමන තාමත් තියෙන්නේ රජය යටතේයි. මේ ඉඩම් පාරදෘශ්‍ය ක්‍රමවේදයකට රටේ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමට ක්‍රමවේදයක් සාදන්න.

අපේ රටේ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග් ධනය සොයා ගැනීමට පහසු වෙන පරිදි අපේ ප්‍රාග්ධන වෙළඳපොල පුළුල් කිරීමට කටයුතු කරන්න.

මුල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්ති රටේ ආර්ථිකයට ඉතා වැදගත්. ඒ නිසා මේ ප්‍රතිපත්ති කලමණාකරණයේදී රටේ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට මුල්තැන දෙන්න. උදාහරණයක් වශයෙන් උද්ධමනය පාලනය කිරීමට අවශ්‍ය යැයි කියමින් හඳුන්වා දුන් ඉහළ පොලී අනුපාත ආර්ථිකයට හානිකර වීමට පටන් ඇරන් තියෙනවා. 30% විතර අධික පොලියකට ණය අරන් කාටද ව්‍යාපාර කරන්න පුලුවන්. ඒ නිසා මේ පොලී අනුපාතයන් සාධාරණ මට්ටමකට අඩු කරන්න කටයුතු කරන්න.

ඉතින් අපි ආන්ඩුවට කියනවා මේ කරුණු වලට අවධානය යොමු කරන්න කියලා. ජනාධිපතිතුමාට අපි මතක් කරනවා අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි,ගිනි කන්දක කියලා. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා අපි ආන්ඩුවට කියනවා. එහෙම නොකොලොත් මේ සියල්ල ගිනි ගන්න දවස වැඩි ඈතක නෙමෙයි.”