2026 මැයි 28, ප.ව. 12:00
ශ්‍රී ලංකාව තුළ උත්තරීතර අධිකරණයක් සහ සම්භාවනීය නීතිඥ ප්‍රජාවක් සිටියදී, වත්මන් සමාජයීය තත්ත්වයන් දෙස බැලීමේදී සමාජ මාධ්‍ය විසින් රටේ නීතිය අතට ගෙන තිබේද යන සාධාරණ සැකය මතුවන බව ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය ඇලපාතගම ඥානරතන හිමියන් පවසනවා.
ඊයේ (27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ අවධාරණය කළේ, රටේ පවතින නීතිමය සහ සාධාරණ රාමුව පසෙක ලා, සමාජ මාධ්‍ය හරහා විවිධ සිදුවීම් මෙහෙයවීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දැකිය හැකි බවයි.
සමාජ මාධ්‍ය නියාමනයක් සිදුකරමින් ශාසනයට එල්ල කරන ප්‍රහාරය වළක්වන්න අවශ්‍ය කරන දැඩි තීන්දු තීරණ ගන්නැයි ජනාධිපතිවරයාට අවධාරණය කරන බවද උන්වහන්සේ කියා සිටියා.
මහා සංඝරත්නය සහ උත්තම චීවරය යනු මෙරට ඉතිහාසය පුරා රට සහ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා පෙරමුණ ගත් ප්‍රධානතම ශක්තිය බව උන්වහන්සේ සඳහන් කළා.
දුටුගැමුණු සහ වළගම්බා වැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසගත රජවරුන් පවා රටට එල්ල වූ විජාතික බලපෑම් සහ විවිධ අභියෝග හමුවේ ක්‍රියා කළේ උතුම් චීවරය පෙරටු කර ගනිමින් බවත්, එදා පාලකයන් මෙම මහ සඟරුවන සහ චීවරය තමන්ගේ ආරක්ෂාව උදෙසා මහා ප්රාකාරයක් බවට පත් කරගත් බවත්, එම ඓතිහාසික ගෞරවය සහ වගකීම වර්තමානයටද වලංගු බවත් ඇලපාතගම ඥානරතන හිමි කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ,
“සාමාන්‍යයෙන් බැලු බැල්මට පිටතින් බලපුවහම ඕනම කෙනෙකුට වැටහෙනවා තේරෙනවා, අපේ රටේ තියෙනවා උත්තරීතර අධිකරණයක්. ඒ වගේම අපේ රටේ ඉන්නවා ශ්‍රේෂ්ඨ නීතිඥවරු. ඉතින් මෙන්න මේ උත්තරීතර අධිකරණයටත් අපේ රටේ ඉන්න මේ සම්භාවනීය නීතිඥවරු මේ සියල්ල පසෙක දාලා අපි දකිනවා සමාජ මාධ්‍ය විසින් මේ රටේ නීතිය අතට අරගෙනදෝ කියලා අපිට හැඟෙනවා මේ සිදුවෙන සිද්ධාන්තත් එක්ක. විශේෂයෙන්ම අපේ ශාසනය ගත්තහම නැත්නම් මේ උත්තම චීවරය ගත්තහම මේ රටේ එදා රජදරුවන්ගේ කාලේ ඉඳලා මේ රට ආරක්ෂා කරගෙන මේ රටේ සිදුවෙන යම් යම් අගතිගාමී කටයුතුවලදී ශාසනික වශයෙන් වේවා, සාමාජික වශයෙන් වේවා හැම අවස්ථාවකදීම මේ උතුම් චීවරය සෙවණ යට තමයි මේ සියල්ලටම අපේ රාජ මහාමාත්‍යවරු පවා උත්තර සපයන්ට යෙදුනේ. ඉතින් අපි දන්නවා එදා අතීතයේ ගත්තාම වළගම්බා රජතුමා, දුටුගැමුණු රජතුමා ආදී රජවරුන් පවා මේ උතුම් චීවරය පෙරටු කොටගෙන තමයි අපේ රටට එල්ල වෙච්ච විජාතික බලපෑම්වලට, එහෙම නැත්නම් වෙනත් බලපෑම්වලට ඒගොල්ලෝ උත්තර සැපයුවේ රජදරුවන් පවා මේ චීවරය මහා ප්රාකාරයක් බවට පත් කරගෙන.”
2026 මැයි 28, ප.ව. 4:02
2026 මැයි 28, ප.ව. 3:39
2026 මැයි 28, පෙ.ව. 11:39
2026 මැයි 28, පෙ.ව. 11:17
2026 මැයි 28, පෙ.ව. 12:16