hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 23, ප.ව. 3:48



රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මහත්මිය අතර ද්විපාර්ශ්වික හමුවක් ඊයේ (22) පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුවත් කළා,

ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටි අතර නවසීලන්තයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමටද නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කර තිබෙනවා,

සැපයුම්දාමය සහ සැපයුම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කළ පීරිස් මහතා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත දියුණු කිරීම සඳහා නවසීලන්තයේ සහය ඉල්ලා සිටියා.

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග උග්‍ර වී ඇති ආකාරය ද අමාත්‍ය පීරිස් මහතා මෙහිදී පැහැදිලි කර සිටි අතර ජීවනෝපාය සඳහා අධ්‍යාපනය වඩාත් අදාළ වන පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් කෙරෙහි අවධාරණය කෙරුණා.