hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2026 ජූනි 24, පෙ.ව. 12:10



ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක් ආකාරයට WhatsApp ඔස්සේ පැමිණෙන සූක්ෂ්ම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වහාම අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව එම ආයතනය පෙන්වා දෙන්නේ ඉතා නීත්‍යනුකූල සහ නිල ස්වරූපයෙන් මෙම වංචාව සිදුකරන බැවින් ඕනෑම අයෙකු මීට පහසුවෙන් ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවයි.

එමෙන්ම අඳාළ වංචාකරුවන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකතන අංක, ඊමේල් ලිපිනයන් සහ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග ලෙස නිකුත් කරන බව හැඟවෙන ආකාරයට සකස් කළ WhatsApp පණිවිඩයක් අදාළ පුද්ගලයා වෙත එවන බවත් අඳාළ පණිවිඩයේ,

“පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, ඔබගේ ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ආරාධනා කරනු ලැබේ…” යනුවෙන් දැක්වෙන බවත් සඳහන්.

එසේම ඊට අමතරව, පණිවිඩය ලබන තැනැත්තාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ලිපිනය ද එහි නිවැරදිව සඳහන් කර ඇති බැවින් කිසිවෙකුටත් මේ පිළිබඳව සැකයක් මතු නොවන බව පවසයි.

තවද එහි තොරතුරු යාවත්කාලීන කිරීමට පැමිණිය යුතු දිනය, වේලාව, ස්ථානය මෙන්ම රැගෙන ආ යුතු මුල් ලේඛන සහ ජෛවමිතික සත්‍යාපන (දකුණු මාපටැඟිල්ල) විස්තර ද ඇතුළත්. මේ අතර අඳාළ පණිවිඩය අවසානයේ වංචාකරුවන් විසින් පහත දැක්වෙන තීරණාත්මක අනතුරු ඇඟවීම ඇතුළත් කර තිබෙනවා.

“මෙම සත්‍යාපනයට සහභාගී වීමට අපොහොසත් වීමෙන් ඔබගේ ජාතික හැඳුනුම්පතට සම්බන්ධ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට හේතු විය හැක. ඔබට නැවත කාලසටහන්ගත කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීමට අවම ලෙස පැය 24 කට පෙර අපගේ උපකාරක අංකය අමතන්න.”

ඒ අනුව බොහෝ දෙනෙකුට මෙම පණිවිඩය නියමිත දිනයට මොහොතකට පෙර ලැබෙන බැවින්, හැඳුනුම්පත අත්හිටුවාවි යන බියෙන් ඔවුන් වහාම එහි ඇති ව්‍යාජ දුරකතන අංකයට ඇමතුම් ලබා ගනියි.

අනතුරුව වංචාකරුවන් විසින් අයදුම්පතක් පිරවීමේ මුවාවෙන් වින්දිතයන් ලවා OTP ඇතුළු රහස්‍ය මුරපදයන් ලබාගෙන, ඔවුන්ගේ බැංකු ගිණුම් සූක්ෂ්ම ලෙස හිස් කරනු ලබන බව සඳහන්. එබැවින් මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරන්නේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක WhatsApp හරහා තොරතුරු සත්‍යාපනය කිරීමක් සිදු නොකරන බවයි.

එනිසා මෙවැනි පණිවිඩවල ඇති ව්‍යාජ වෙබ් අඩවි ලිපින (Links) වෙත පිවිසීමෙන් සහ දුරකතන අංකවලට ඇමතීමෙන් වැළකී, තමන්ගේ රහස්‍ය බැංකු තොරතුරු හෝ OTP කේත කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදීමට බුද්ධිමත් වන මෙන් ජනතාවට දන්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: