hit counter

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි 19, ප.ව. 3:03



මෙතෙක් ආදායම් බදු නොගෙවු පිරිස මාස හයක් ඇතුළත ඒ බදු මුදල ගෙවනවා නම් සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවා.

ඒ එම විධිවිධාන නව පනත් සංශෝධනයට ඇතුළත් කර තිබෙන බවද සඳහන් කරමින්.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(19) දින පාර්ලිමේන්තුවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින්.

එහිදී ඔහු කියා සිටියේ,

“දැන් ආදායම් බද්දක් කවුරු හරි නියමිත දිනයට ගෙවන්න අපොහොසත් වෙනවා නම් ඒ ගෙවන්න අපොහොසත් වෙන හැම මාසෙකටම 1.5% ක පොලියක් එහෙම නැත්නම් වසරකට 18% පොලියක් එකතු වෙනවා. සහ ඊට අමතරව දණ්ඩනයක් පැනවෙනවා. අපි දන්නවා පහුගිය කාලවකවානුවලදී ව්‍යවසායකයින් මුලින්ම කොවිඩ් කාලෙදි විවිධ අපහසුතාවලට ලක් වුණා. ඊට පස්සේ දිට්වා සුළි කුණාටුව වෙලාවෙදි විවිධ අපහසුතාවයට පත්වුණා. දැන් මැද පෙරදිග යුද්ධයත් එක්ක අර්බුදයන්ට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ සියලු කාරණා කටයුතු සලකලා බලලා මෙතෙක් ආදායම් බදු සහ අධිභාර සම්බන්ධයෙන් ඒ බද්ද ගෙවලා නැති කෙනෙක් ඉන්නවනම්, ඒ බදු ගෙවන්න දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඒ බදු මුදල මාස හයක් ඇතුළත ගෙවනවා නම් ඒ බදු ගෙවන්නගේ සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන්න විධිවිධානයක් මේකේ ඇතුළත් වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඒ බදු ගෙවීමේ අවශ්‍ය හැකියාව ලබාදීලා, තමන්ගේ කර්මාන්ත වඩාත් හොඳින් ඉදිරියට කරගෙන ගිහිල්ලා තවත් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදනයක් ලබා දීම”

ඊට අමතරව මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ දැනට පවතින බදු ක්‍රමයේ තිබෙන සංකීර්ණතා ඉවත් කිරීම බව සඳහන් කළ ඔහු බදු පරිපාලනය සිදුකිරීමේදී හඳුනා ගන්නා ලද අවිනිශ්චිතතා ඉවත් කර ගැනීමත් මෙහි අරමුණක් වෙන බව සඳහන් කළා.

“මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ දැනට පවතින බදු ක්‍රමයේ තිබෙන සංකීර්ණතා ඉවත් කිරීමයි.බදු පරිපාලනය සිදුකිරීමේදී හඳුනා ගන්නා ලද අවිනිශ්චිතතා ඉවත් කර ගැනීමත් මෙහි අරමුණක් වෙනවා. බදු ක්‍රමය සරල කිරීම මෙහි අරමුණයි. බදු පදනම පුළුල් කරගැනීම තුළින් විශාල බදු ආදායමකට ගමන් කිරීම අපේ අරමුණ වී තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ තවදුරටත් බදු අනුපාත වැඩි කිරීම හෝ බදු පැනවීම නොවේ. අයවැය යෝජනා නීතිමය තත්ත්වයට පත්කර පනත සංශෝධනය කිරීම මෙහි මූලික අරමුණයි” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: