hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 10, පෙ.ව. 1:28



ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදේශීය කාර්යාලවල අධික තදබදයක් පවතිනවා.

ඒ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණීමත් සමඟයි.

වාර්තා වන අන්දමට ආගමන විගමන කාර්යාලවල සේවා හසුරුවා ගත නොහැකි තත්වයක් මතුව තිබෙනවා.

සාමාන්‍යයෙන් එක්දින සේවාවෙන් නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500ක්. නමුත් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට අසාමාන්‍ය ඉල්ලුමක් පැවතීම හේතුවෙන් එම සේවාව යථා පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් හට ගෙන තිබෙනවා.

උපරිම සේවාවක් ලබා දීම සඳහා මේවන විට උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා සේවා පුළුල් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

තාක්ෂණික දුර්වලතාද මෙම අර්බුදය උග්‍ර වීමට බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරි සති දෙක තුන ඇතුලත නව උපාංග මිලදී ගෙන මෙම තාක්ෂණික දුර්වලතාව නිවැරදි කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක (ගමන් බලපත්‍ර) ප්‍රියන්ත හපුආරච්චි මහතා සඳහන් කළා.

ඉදිරි මාස 6කට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාව පවතින බවත් ගමන් බලපත්‍ර ගාස්තු ඉහල දැමීමක් සිදු කිරීමට දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

එක්දින සේවයේ යටතේ විදෙස් ගමන් බලපත්‍ නිකුත් කිරීමේ ධාරිතාව තිබෙන්නේ දිනකට 1000ක පමණ ප්‍රමාණයක් වන අතර මේවන විට අධික ඉල්ලුම හේතුවෙන් එම ප්‍රමාණය දිනකට 2500ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ප්‍රාදේශීය කාර්යාලය මගින් දිනකට විදේශ ගමන් බලපත්‍ර 200ක් පමණ නිකුත් කිරීමේ හැකියාව පවතින අතර අධික ඉල්ලුම හේතුවෙන් එම ප්‍රමාණය 500 දක්වා ඉහල ගොස් තිබෙන බවයා වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: