hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:04



ඉකුත් නොවැම්බර් මාසය අවසන් වන විට, උපයන විට ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති පිරිස 500,196 දක්වා වැඩි වී තිබෙන බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉකුත් 2022 වසරේ දී උපයන විට ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇත්තේ, පුද්ගලයින් 204,467ක් බවයි.

මේ අතර ඉකුත් 2022 වසරේ දී බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් ගණන 73,444ක් වූ අතර, ඉකුත් නොවැම්බර් මාසය අවසන් වන විට ලියාපදිංචි වූ සංඛ්‍යාව 81,909ක් බවයි ඔහු පවසන්නේ.

තව ද ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ නොවැම්බර් මාසය වන විට 1,803කින් ඉහළ හොස් ඇති අතර, වර්තමානයේ APIT ලෙස හඳුන්වන PAYE බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අදාළ මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ, එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතු බවයි.

කෙසේ නමුත් එය වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලා සිටි නෆීර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක් බවත් සෑම දෙනෙකුට ම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා සේ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: