hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 10:51



නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට හිමි කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඊයේ (04) මෙම නියෝග නිකුත් කර ඇති අතර මාතර, කළුතර, හම්බන්තොට, කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් 20ක ප්‍රමාණයක් මෙලෙස තහනම් කරමින් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුට අයත් ඉඩම් විස්සක් එකම දිනයකදී ඔහුගේ බිරියට ඉඩම් 8ක් ද ඔහුගේ මිතුරකුට ඉඩම් 12ක් ද පවරා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙසේ ඉඩම් පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.

මාතර ප්‍රදේශයේ ඉඩම් හයක් ද, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් දෙකක්ද, කළුතර ප්‍රදේශයේ ඉඩම් දහයක් ද, කඩවත ප්‍රදේශයේ ඉඩම් දෙකක් ද මෙසේ තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන් යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: