hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 13, පෙ.ව. 10:05



පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත, විධිමත් ක්‍රමවේදයක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

දිවයින පුරා පොලිස් ස්ථාන 182ක් සඳහා දේශපාලන නිර්දේශ මත ස්ථානාධිපතිවරුන් පත් කිරීම පිලිබඳ රාජ්‍ය සේවා කොමිසම කර ඇති විමසුමට ප්‍රතිචාර ලෙස පොලිස්පතිවරයා අදාළ වාර්තාව කොමිසම වෙත යොමු කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හමුවේ විවිධ හේතු සහ බලපෑම් මත ඇතැම් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදු වන බව පොලිස්පතිවරයා යොමු කර ඇති වාර්තාවෙන් පැහැදිලි වන බවයි.

ඒ අනුව නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් සකස් කර එවන ලෙස කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝජනාවලියක් පොලිස්පති විසින් කොමිසම වෙත යොමු කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිසම සඳහන් කළේ පසුගිය සතියේ රැස්වූ සිය කොමිසම පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති අදාළ යෝජනාව සලකා බැලීමට ලක් කළ බවයි.

ඊට අදාළ සංශෝධන එක් කිරීමෙන් පසුව ස්ථානාධිපතිවරු පත් කිරීමේ නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර පසුගියදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට අලුතින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා කැඳවූ අයැදුම් පත් භාර ගැනීම ජූනි 17 වන දායින් අවසන් වීමට නියමිතයි.

දේශපාලන බලධිකාරියේ වුවමනා මත පසුගිය කාලයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර ඇති බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන නව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබා දුන් උපදෙස් අනුව පොලිස්පතිවරයා විසින් මෙසේ අයැදුම් පත් කැඳවනු ලැබ තිබෙනවා.

ඒ අනුව, විධිමත් හා පාරදෘශ්‍ය ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා මෙලෙස අයැදුම් පත් කැඳවනු ඇති අතර ඒ යටතේ සියලු ම පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් තෝරා ගැනීමට නියමිතයි.

සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය සහ ලකුණු දීමේ පටිපාටිය ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

මේ යටතේ දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට මෙන් ම අනෙකුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද අයැදුම් පත් ඉදිරිපත් කළ හැකි වෙනවා.

පොලිස් මූලස්ථානය කළ එම දැනුම් දීමට අනුව මේ වන විට අයැදුම් පත් රාශියක් ලැබී ඇතැයි වාර්තා වෙනවා.