hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 20, ප.ව. 8:52



යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවෙකු ඊයේ (19) දින මියයාමත් සමගින් ගම්වාසීන් විසින් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.

වඩුක්කොඩ්ඩෙයි පොලීසිය මගින් මීට දින 4 කට පෙර කිසියම් සොරකමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයේ තබා තිබූ අතර සැකකරුවන්ගේ ඥාතීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සමබන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් ඔවුන් මල්ලාකම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ඔවුන් යාපනය බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් අධිකරණයෙන් ලැබුනු නියෝගයකට අනුව යාපනය බන්ධනාගාරයට ඇතුල් කිරීමෙන් පසුව ඊයේ (19) දින එක් සැකකරුවෙකු අසනීප තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මිය ගිය සැකකරුගේ ඥාතීන් විසින් වඩුක්කොඩ්ඩෙයි පොලීසියට චෝදනා කරමින් පවසා ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද පහරදීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවටයි.

මේ හේතුව නිසාවෙන් යාපනය උසස් පොලිස් නිලධාරීන්ගේ අධික්ෂණයෙන් මේ වන විට අදාල මරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් සිදුකරන අතරම වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වෙනත් පොලිස් ස්ථානයකට මාරුකොට යැවීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

මේ අතර අද (20) උදෑසන සිට වඩුක්කොඩ්ඩෙයි පොලීසියට ජනතා විරෝධයක් එල්ල වේ යැයි යන අවධානම හේතුවෙන් පොලිස් ස්ථානය හා අවට ප්‍රදේශය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා දැඩි ආරක්ෂාව යොදාවා තිබුණා.

මේ අතර බන්ධනාගාරගතව සිටියදී මිය ගිය වඩුක්කෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් යන අයගේ මළසිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර පෂ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව ප්‍රකාශ කරන බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.