hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 13, ප.ව. 12:12



පසුගිය මැයි 9 වනදා සිදු වූ නිවාස ගිනි තැබීම ඇතුළු කලහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවට තමන් කළ ප්‍රකාශය කිසිසේත් ම ඉල්ලා අස් කර නොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

එම සිද්ධිය ගැන තමා කී කතා සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කළ නමුත් ඒ කතාව ප්‍රතික්ෂේප නොකර සොයා බලන ලෙසත් තමා කතා කරන්නේ සාක්කි ඇති බව ත් අමාත්‍යවරයා පැවසුවා.

තමා විවාහ වී සිටින්නේ දෙමළ ජාතික, ක්‍රිස්තියානි ආගමේ කාන්තාවක් සමග බව ත් තමන් කිසි විටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇදගෙන දේශපාලනය නොකරන බවත් ඔහු සඳහන් කළා.

ඉකුත් 9 වන දා කලහකාරීන් විසින් ගිනිතබා විනාශ කරන ලද ගම්පහ, උඩුගම්පොළ පිහිටි සිය නිවෙසට පෙරේදා (11) පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

“මගේ ගෙදර රජයේ වාහන දෙකක් තිබුණා. පාර්ලිමේන්තුවේන් මට ලැබුණු බඩු බාහිරාදිය වගේ ම කැබිනට් පත්‍රිකා තිබුණා. ඒ සියල්ල ම විනාශ වූණා. මේක මගේ තාත්තාගෙන් ලැබුණු ඉඩම. 88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා විශාල පිරිසකගේ ජීවිත බේරුණා. අදට ත් මේ ගෙදර දරු දැරියන් වෙනුවෙන් නොමිලයේ පන්ති පැවැත්වෙනවා. ඒ සියල්ල ම නැති වෙලා.

බලයට කෑදර යම් යම් පිරිස් මැයි 9 වන දා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියමින් රටේ භීෂණයක් මතු කළා. මේ ගිනි තැබීම් පිටුපස කුඩු ජාවාරමට සම්බන්ධ පිරිස් ඉන්නවා. ඒ සම්බන්ධ සියලු ම තොරතුරු පොලිසියට ලබා දීලා තියෙනවා. ගෙවල් ගිනි තියලා අපේ දේශපාලනය නවත්තන්න බෑ. මේක පන්නරයක් කරගෙන ශක්තිමත්ව මම ඉදිරියටත් දේශපාලනය කරනවා. මේ වැරදි කරපු අයට නීතියෙන් වගේ ම ස්වභාවධර්මයෙනුත් දඬුවම් ලැබේවි. ඒ දිහා බොහො ම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

මේ ගිනි තැබීම් පිටුපස සමහර හාමුදුරුවෝ වගේ ම සමහර පියතුමන්ලාත් හිටියා. මීගමුවේ ව්‍යාපාරික කාන්තාවක් ඒ පියතුමාගේ නමත් කිව්වා. ඝාණ්ටාරය ගහලා මිනිස්සු කැඳවලා කෝලහාල කරපු හැටි වගේම පියතුමා මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට ඇප දීපු හැටිත් ඒ ව්‍යාපාරික යුවළ කිව්වා.

මගේ ගෙදර ගිනි තියන්න දවස් කිහිපයකට කලින් පියතුමන්ලා තුන්දෙනෙක් ඇතුළු පිරිසක් පෙළපාළියේ ඇවිත් ගෙදර ඉස්සරහ මල් වඩමක් තියලා ගියා. ගෙදර ගිනි තියන්න මහාචාර්ය හාමුදුරු නමක් ඇතුළු පිරිසක් ආවා. සමහරු ආගමික නායකයන්ට ‍ෙදාස් නගන්න බයයි. මම බොරු කියන්නේ නැහැ. මම කතා කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟවයි. ඒ නිසා මට කිසි ම බයක් නැහැ.

මම දැක්ක සිරිල් ගාමිණි පියතුමා වේදිකාවේ තියාගෙන ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා 21 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට කඳුළු සලන්න වෙයි කියලා. මහ සංඝරත්නයට දානය දෙන්නේ සාමාන්‍ය පුරවැසියෝ. ඒ දානය වළඳන හාමුදුරු නමකට මෙහෙම කියන්න පුළුවන් ද? මිනී මරන්න, මිනිසුන්ට හිරිහැර කිරීම ගැන ආගමික නායකයෝ වේදිකාවල කතා කරනවා. රට සන්සුන් කරන්න ඉන්න ආගමික නායකයෝ රට ගිනි තියලා හරි යනව ද?”