hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 5:45



තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයකු තඹුත්තේගම පුද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක මුදලක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු දිවි පරදුවට තබා මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලසියේ සැරයන්වරයකු ඊයේ (26) සමත් වී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ තොග වෙළෙඳ ආයතනයක හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා තඹුත්තේගම ප්‍රකට පුද්ගලයෙක් බවයි පොලිස් තොරතුරු සඳහන් කළේ.

සති අන්තයේ ව්‍යාපාර කටයුතුවලින් උපයාගත් මුදල් ඔහු බෑග් දෙකක බහා සුපුරුදු ලෙස ඊයේ බැංකුව වෙත රැගෙන විත් ඇත්තේ සිය මෝටර් රථයේ දමාගෙනයි.

පොලිසිය පවසන්නේ ඔහු බැංකුව අසල මෝටර් රථය නතරකරනවාත් සමඟ බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් මෝටර් රථය අසලට සුපුරුදු ලෙස ඔහුගේ සහායට පැමිණි ඇති බවයි.

ඒ සමගම යතුරු පැදියක් මෝටර් රථය ආසන්නයේ නතර කර තිබෙනවා.

එහි සිටි මුහුණු මුළුමනින්ම ආවාරණය වන ලෙස හිස් වැසුම් පැලඳි දෙදෙ‍ෙනක් රියැදුරු අසුනේ සිටි ව්‍යාපාරිකයා අසලට පැමිණ ගිනි අවිය ඔහු දෙසට දිගු කර බිය ගන්වමින් මුදල් කොල්ල කා ඇති බව පොලිසිය කියයි.

මුදල් බෑග් දෙක බේරා ගැනීමට ව්‍යාපාරිකයා උත්සහයක නිරතව සිට ඇතත් මරණ බිය දැනීම නිසා කොල්ලකරුවන්ට මුදල් කොල්ලකෑමට ඉඩදී ඔහු මෝටර් රථයෙන් බැස බැංකුව තුළට දිවගොස් ඇත්තේ ජීවිතය රැක ගැනීමටයි.

බැංකු ආරක්ෂකයාත් ඒ වන විට බැංකුව තුළට දිවගොස් සිට තිබෙනවා.

තත්පර කිහිපයක් තුළ කිසිදු කරදරයකින් තොරව පහසුවෙන් රුපියල් ලක්ෂ 223ක මුදල කොල්ලකාගෙන යතුරු පැදියේ එම මුදල් පිරවූ බෑග් දෙක පටවන විට ඒ එක් බෑගයකින් මුදල් නෝට්ටු මිටි කිහිපයක් බැමට වැටී තිබී තිබෙනවා.

මේ කිසිවක් නොදත් තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවයේ නිරත පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා සිය යතුරු පැදියට ඉන්ධන ගැනීමට නගරයේ ඉන්ධන පිරවුම්හලට පැමිණ බැංකුව වෙත පැමිණ ඇත්තේ මුදල් තැම්පත් කිරීමක් සඳහායි.

එහිදී යතුරු පැදියක් අසල බෑගයකින් මුදල් නෝට්ටු මිටි කිහිපයක් බිම වැටී තිබෙණු දුටු ඔහු ඒ ගැන සිය අවධානය යොමු කරන විට කාන්තාවක් කෑගසමින් දිව ගොස් ඇත්තේ මංකොල්යක් සිදුවී ඇති බව කියමින්.

සිය යතුරු පැදිය එතැනම නතර කළ පොලිස් සැරයන්වරයා මෝටර් රථය අසලට දිව එන්නේ සිය ජීවිත අවදානම ගැන ද නොතකායි.

සැරයන්වරයා කොල්ලකරුවන් සමඟ එහිදී පොර බැදීමක් ද කර තිබෙනවා.

එවිට ගිනි අවිය අතැතිව සිටි කොල්ලකරු ගිනි අවිය සැරයන්වරයාගේ පපුවට තබා පසුපසට තල්ලු කර ඇති බව කියයි.

ඒත් එක්කම සෙසු කොල්ලකරු පොලිස් නිලධාරියා දෙසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එය වැදී ඇත්තේ ඔහුගේ පාද දෙසටයි.

මුහුණට එම මිරිස් කුඩු වැදුණි නම් කොල්ලකරුවන්ට පහසුවෙන්ම මෙම මුදල් තොගය ද කොල්කා පලායෑමට ඉඩ ලැබෙනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ පොලිස් සැරයන්වරයා කල්පනාකාරී වෙමින් කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය බිම පෙරළා කොල්කකරුවන් මෙල්ල කිරීමට දැඩි පරීශ්‍රමයක් දරා ඇති බවද පොලිසිය කියයි.

මෙම අවස්ථාවේදී බැංකුව තුළ සිටි පිරිසක් ද ඇතුළුව ඒ අවට සිටි විශාල පිරිසක් පොලිස් නිලධාරියාගේ සහායට එක් වී තිබෙනවා.

මේ නිසා කොල්ලකරුවන් දෙදෙනාට පලායාමට කිසිදු ඉඩක් ලැබී නැත.

ඒ අතර තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ද එහි පැමිණ මුහුණු ආවරණය කරගත් කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එක් කොල්ලකරුවෙක් ව්‍යාපාරිකයා මුදල් තැන්පත් කිරීමට ගිය බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් බව හඳුනා ගන්නේ ඔවුන් දෙදෙනාගේ මුහුණු ආවරණ ඉවත් කිරීමෙන් පසුවයි.

48 වියැති ඔහු හමුදා සේවයේ නිරතව සිටියෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

ඒ බව තහවුරුකර ගැනීමට පොලිසිය හමුදාවේ සහාය ද ලබා ගන්නා බව ඔහු පැවසුවා.

එම ආරක්ෂකයා බැංකුවේ සේවයට පැමිණ මාසයකට දෙකකට වැඩි කාලයක් ගත වී නැති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලය සිදු වන විට ඔහු නිවාඩු ලබා සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සෙසු කොල්ලකරු අවුරුදු 50ක් වයසැති අයෙක්.

ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වූවෙක් බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වෙමින් ඇති බවත් මෙම කොල්ලකරුවන් දෙදෙනාම තඹුත්තේගම, රාජාංගනය පාර, කලුන්දෑගම පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා.

මෙම කොල්ලය මොවුන් කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය පැවසුවා.

ඇඟිලි සලකුණු නොවැටෙන ලෙස අත්වැසුම්ද පැලඳ සිට තිබෙනවා.

ව්‍යාපරිකයා බැංකුවට පැමිණෙන තුරු යතුරුපැදියේ නැඟුණු කොල්ලකරුවන් දෙදෙනා මද වේලාවක් බැංකුව අවට මාර්ගයේ සැරිසරා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම කොල්ලයට ඔවුන් බෝර 12 වර්ගයේ ගිනි අවිය රැගෙනවිත් ඇත්තේ එක් පතොරමක් පමණක් රැගෙන බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව මන්නා පිහියක් ද ඔවුන් රැගෙනවිත් තිබෙනවා.

මෙම කොල්ලකරුවන්ට වෙඩි තැබීමට කිසිදු අවශ්‍යතාවක් තිබී නැති බවත් ගිනි අවිය සහ මන්නා පිහිය රැගෙනවිත් ඇත්තේ බිය ගැන්වීමට පමණක් බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම කොල්ලය සැලසුම් කළ ආකාරය ගැන බොහෝ තොරතුරු මෙම අත්අඩංගුවට ගත් කොල්ලකරුවන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: