hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 25, පෙ.ව. 11:39



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

ඔහු සිය සටහනෙන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය වන බවයි.

”රනිල් වික්‍රමසිංහ මහතා අද (නොවැම්බර් 24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් කරමින් 2022 මැයි 09 වැනිදාට පෙර මට අගමැති වීමේ අභිලාෂයක් තිබුණා කියනවා.

අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දිය නොහැකි තැන.

2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද BASL යෝජනා කිසි විටෙක පුද්ගලයන් ගැන නොවේ.

නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන, ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින්.”

ජනාධිපති නීතිඥවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බවයි.

එමෙන්ම පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවත් ඔහුගේ සටහනේ සඳහන්.

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: