hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 10:45



විවිධ පුද්ගලයන් විසින් ඉල්ලීම් කළද ජලය සිඳී ඇති සමනල වැව ජලාශයේ මැණික් ඉල්ලම් සේදීමට අවස්ථාව ලබාදිය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල සාලිය එල්ලාවල මහතා ඊයේ (14) පැවැසුවා.

මන්ත්‍රිවරයා එම අදහස් ප්‍රකාශ කළේ සමනල වැව ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාලිය එල්ලාවල මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.

“සමනල වැව ජලාශයේ වසර තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වෙනවා. ඉන්ජිනේරුවරුන් සහ ඒ පිළිබඳව දැනුම ඇති විශේෂඥයන් සඳහන් කරන්නේ වැව් පතුල හෑරීම තුළින් දිය කාන්දුව වැඩි විය හැකි බවයි. ඊට අමතරව සමනල වැව පිහිටා ඇති ප්‍රදේශය හුනුගල් මිශ්‍ර කලාපයක් වන අතර එම හුනුගල් අතර ඇති උමං ඔස්සේ ජලය ගලා බසිනවා.

ඇතැමුන් පෞද්ගලික වාසි තකා විවිධ ප්‍රකාශ කළද සමනල වැව ජලාශය ජාතියේ සම්පතක් බැවින් එය ආරක්ෂා කර ගැනීම ජාතියේ වගකීමක්. සමනල වැව ජලාශයේ දිය කාන්දුව සිදුවන ස්ථානය නිශ්චිත ලෙසම සොයා ගෙන ඇති නිසා දැන් එම ජල කාන්දුව වසා දමා එම ජලය මඟින් වැඩි විදුලි නිෂ්පාදනයක් මෙරටට ලබාදිය යුතුය. ජල කාන්දුවෙන් බළන්ගොඩ – කල්තොට ගොවි ජනපදයට ජලය ලබා ගත් අතර එම කාන්දුව වසා දැමීමෙන් පසු ගොවි ජනතාවට අවශ්‍ය ජලය සමනල වැව ජලාශයෙන් ලබා දීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාව බියක් ඇති කර ගත යුතු නැහැ. මහජන නියෝජිතයන් හැටියට අප ඵ් වෙනුවෙන් පෙනී සිටිනවා”

මෙම අවස්ථාවට සමනල වැව ප්‍රධාන ඉන්ජිනේරු උදය අඹේපිටිය, රත්නපුර මහ දිසාපති වසන්ත ගුණරත්න, බළන්ගොඩ ප්‍රදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර, ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් ගයානි රේණුකා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූවා.