hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:53



හෙද පුහුණුව ලැබ වසර කීපයක් නිවසට වී සිටි 24 හැවිරිදි සඳුනි සුලෝචනාට නවක හෙදියක ලෙස පත්වීම ලැබෙන්නේ මීට මාසයකට පමණ පෙරදීය. ඒ කොළඹ ජාතික රෝහලටය.

එලෙස පත්වීම ලැබ යන ඇය ඒ රෝහලේ හදවත් රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරි කරමින් සිට පළමු නිවාඩුව ගෙන පසුගිය 23 වැනි දින නිවසට පැමිණෙන්නේ තම මවුපියන් සහ සහෝදරයන් දැක බලා ඔවුන් සමඟ කාලය ගත කිරීමටය.

සඳුනි බණ්ඩාරවෙල, වනසිරිගම, මකුල්ඇල්ල ගමේ පදිංචි තරුණියක් වූ අතර ඇය පවුලේ වැඩිමහල් දියණිය වූවාය. ඇයට තවත් නිවුන් සහෝදරයන් දෙදෙනකු සිටින අතර ඇයගේ මව මනතුංග දේවයාලගේ චන්ද්‍රවතී (53)ය. පියා මනතුංග දේවගේ සමරවීර මනතුංග (59) පෙදරේරුවකු ලෙස කටයුතු කරයි.

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ සඳුනි සුලෝචනා අනතුරුව කුඩාකල සිටම ආසාවෙන් සිටි හෙදියක වීමේ සිහිනය සැබෑ කරගනිමින් 2018 වසරේදී හෙද අධ්‍යාපනය හැදැරීමට තේරීපත්ව ඇත.

හෙදියක වී රාජකාරි කරමින් සිටින විට ලද පළමු නිවාඩුවට පසුගිය 23 වැනි දින තම නිවසට රාත්‍රී 8.30ට පමණ පැමිණෙන සඳුනි ඊට පසුදින ඇයගේ නැන්දාගේ නිවසේ තිබූ දානමය කටයුත්තක් සඳහා සහභාගි වීමෙන් පසු 24 සහ 25 දෙදින තම මවුපියන් හා සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයකු සමඟ දවසම නිවසට වී ගත කරන්නේ මාසයක් වැනි කාලයක් ඔවුන් සමඟ නොසිටි තනිකම මඟහැර ගන්නටය.

එලෙස දින දෙකක් නිවසේ සිටි ඇය 26 වැනි දින බණ්ඩාරවෙල නගරයට ගොස් ආපසු නිවසට පැමිණ ඇත්තේ මවුපියන්ට අලුත් ඇඳුම් හා මවට අලුත් දුරකතනයක් ද රැගෙනය.

එලෙස ගෙදර පැමිණි සඳුනි දිවා ආහාරය ගැනීමෙන් පසු තම නිවසට පහළින් පිහිටි ඇයගේ නැන්දාගේ නිවසට ගොස් ඇති අතර ඒ වන විට ඇයගේ පියා සහ සොහොයුරා වත්තේ වැඩ කරමින් සිට නිවසට පැමිණ ඇත්තේ දිවා ආහාරයටය.

දෙදෙනාට බත් සමඟ කෑමට තක්කාලි සම්බලයක් සෑදීමට ඇයගේ මව තක්කාලි කපමින් සිටි අවස්ථාවේදී ඇයගේ බාප්පා සහ පුංචි අම්මා ද එම නිවසට පැමිණ කුස්සියේ සිටින විට පහළ නැන්දලාගේ නිවසට ගිය සඳුනි නිවසට පැමිණ ඇයගේ මවට පවසා ඇත්තේ අම්මේ ඇඟට හරි අමාරුයි උණ එන්න වගේ කියාය.

එහිදී තක්කාලි සම්බෝලයට දැමීමට කුස්සියේ උඩ රාක්කයේ ඇති ගම්මිරිස් කුඩු බෝතලය රැගෙන දෙන ලෙස අම්මා පැවසූ නිසා එය ගැනීමට අත දික් කරන කොටම අම්මා මට ක්ලාන්තය වගේයැයි පවසන විටම ඇය වැටෙන්න ගිය හෙයින් ඇයගේ මව ඇය අල්ලා ගැනීමට උත්සාහ කළ ද ඒ අවස්ථාවේදී ඇය බිමට ඇද වැටී ඇති බව මරණය ගැන පැවැති මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඇයගේ මව පවසා තිබේ.

ඉන් පසු ඇයගේ ඇස් උඩ ගොස් කටින් පොඩි හුස්මක් පිටවෙනවා වගේ දැනුණු නිසා කඩිනමින් බණ්ඩාරවෙල රෝහලට රැගෙන යෑමට එතැන සිටි පිරිස කටයුතු කළ බවද ඇය පැවසුවාය.

පස්වරු 4.30ට පමණ මෙලෙස රෝහලට රැගෙන ආ සඳුනි පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් ඇති බවයි.

ඇයගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (27) දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.කේ.එන් සුරංග විසින් සිදු කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් බණ්ඩාරවෙල හදිසි මරණ පරීක්ෂක මේනකා රත්නායක විසින් විවෘත තීන්දුවක් දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකරන ලෙස දන්වා ඇයගේ දේහය මවුපියන් වෙත භාරදීමට කටයුතු කර තිබිණි. මියගිය සඳුනි සුලෝචනාගේ අවසන් කටයුතු ඊයේ (28) පස්වරු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: