hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:07



යම් අපරාධයක් වෙනුවෙන් අධිකරණය ඉදිරියේදී වරදකරු වන පුද්ගලයෙකුට නියම වන දඬුවම් කාලයෙන් අඩක්වත් ගෙවී යාමට පෙර ජනාධිපති සමාව ලබාදීමෙන් වළකින ලෙස ඉදිරියේදී තේරී පත්වන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසනවා.

ඊයේ (07) ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇය සඳහන් කළේ, මෙලෙස දඬුවම් නියම කිරීමෙන් පසු ජනාධිපති සමාව ලබාදීම හරහා වින්දිත පාර්ශ්වය යුක්තිය වෙනුවෙන් දරන අසීමිත පරිශ්‍රමය, නීතිඥවරුන්ගේ දායකත්වය මෙන්ම නඩු කටයුතු පවත්වාගෙන යාමට රජය දරන දැවැන්ත මූල්‍ය පිරිවැය මුළුමනින්ම නොසලකා හැරීමක් සිදුවන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිටියදී හිමිවූ ජනාධිපති සමාව අහෝසි වීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීම මුල්කරගනිමින්, මේ දිනවල තමන් ඉලක්ක කර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන තර්ජන සහ අපහාසාත්මක ප්‍රචාර පිළිබඳවද ඇය මෙහිදී කරුණු අනාවරණය කළා.

මෙලෙස එල්ලවන බලපෑම්, අදාළ හිමිනම 2018 වසරේදී වරදකරු වී බන්ධනාගාරගත වූ අවස්ථාවටත් වඩා බරපතළ මට්ටමක පවතින බව ඇය පෙන්වා දුන්නා.

එමෙන්ම, ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට පවසමින් තමන්ට එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය, එම චෝදනාවල කිසියම් සත්‍යතාවක් ඇත්නම් එය අධිකරණය හමුවේ ඔප්පු කරන ලෙසද වැඩිදුරටත් අභියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: