hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 9:04



නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා යොමුකළ ලිපියක් හේතුවෙන් හෙද හෙදියන් සඳහා ලැබීමට නියමිතව තිබූ සිංගප්පූරු රැකියා දහස් ගණනක කෝටාව නතර වීමේ අවදානමක් මතුව ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය රජයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා ඇතිකරගත් එකඟතාවක් මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබුණා.

එම කණ්ඩායමේ මුලින්ම පිටව ගිය හෙදියන් දෙදෙනාගෙන් එක් හෙද නිලධාරිනියක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා යැවූ ලිපියක් මූලික කරගනිමින් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීමේ අවදානම මතු වී තිබෙනවා.

සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය (National University Health System) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග පැවසුවා.

තහවුරු කරගැනීමකින් තොරව රෝහල් අධ්‍යක්ෂවරයා මෙම ලිපිය යොමුකිරීමෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් මත ලබාදීමට ගිය රැකියා අවස්ථාවන් සඳහා අවදානමක් මෙන්ම කළු පැල්ලමක් එල්ල වී එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම හෙද නිලධාරිනිය සම්බන්ධව සිංගප්පූරු රජයට ලිපියක් ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත් ඔහු ධුරාවලියට පිටින් මෙම ලිපිය ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ක්‍රියාවක් කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

ධුරාවලිය අනුව රෝහල් අධ්‍යක්ෂවරයා කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් එය අමාත්‍යාංශයට යොමුකර විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් සිංගප්පූරුවට ලිපිය යැවීමයි. මෙම හෙද සේවය සඳහා සේවා සහතිකය ඉදිරිපත් කළ යුත්තේ හෙදියන් මෙහෙයවන ප්‍රධාන වි​ශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය බව ගිවිසුමේ සඳහන්ව තිබෙනවා.

එසේ තිබියදී රෝහල් අධ්‍යක්ෂවරයා ධුරාවලියත් අමතක කර පැමිණිලි කරමින් රාජ්‍ය තාන්ත්‍රිකව ඇති කළ කළු පැල්ලම සම්බන්ධව වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (12) තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව කළ විමසුමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා පැවැසුවේ අද (13) දින විෂය භාර ඇමැතිවරයාට මේ බව දැනුම් දෙන බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් හෙද නිලධාරිනියන් සිංගප්පූරුවට යැවීමේ කාර්යයට මැදිහත් වූ බවත් සේවා ගිවිසුම අත්සන් කිරීමේදී හෙදියගේ සේවා කාලයට අදාළ චරිත සහතිකය ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය විසින් ලබාදිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නා.

තමන් විදෙස්ගත වීම සඳහා ඉදිරිපත් කළ සියලු සේවා සහතික සත්‍ය ඒවා බවත්, අවශ්‍ය නම් රජයේ රස පරික්ෂක වෙත යවා විශේෂ​ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ අත්සන් තහවුරු කරන ලෙසත් මෙම සිද්ධියට චෝදනා එල්ල වූ හෙද නිලධාරිනිය බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

ව්‍යාජ ලෙස සේවා සහතිකයක් ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ රැකියාවට ගිය හෙද නිලධාරිනිය ගැන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

සිංගප්පූරුවේ රෝහල්වල හෙද හෙදියන් සඳහා රැකියා ඇබැර්තුවලට බඳවා ගැනීමේදී ලියාපදිංචි හෙදියකට රුපියල් පන්ලක්ෂ තිස්අට දහසක (සිංගප්පූරු ඩොලර් 2000)ක වැටුපක් නිර්දේශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: