hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 7:39



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් උසස් නිලධාරීන් සම්බන්ධ වී  සිදුකර ඇතැයි පවසන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවන් පිළිබද සිදු කළ විමර්ශන වාර්තා වගකිවයුතු බලධාරීන් විසින් යට ගසා ඇතැයි සේවකයෝ චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් හෙළිකර ගත් කරුණු අනුව සහ ලබා දුන් උපදෙස් අනුව ඒ පිළිබඳ ගමනාගමන මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් විමර්ශන පවත්වා මාස 3කට අධික කාලයක් ගත වී ඇතත් ඊට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සේවකයෝ සඳහන් කරනවා.

ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වූ බව කියන ඉස්ටිල් ඉම්ප්‍රේක්ස් සමාගම සම්බන්ධ ලිපිගොනුව, නොගැලපෙන අමතර කොටස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 65 ක මුදල් වංචාව, ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර යන්ත්‍ර මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 5ක පමණ වංචාව, පරිගණක 800 ක් හා ලැප්ටොප්  74  මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 10ක මුදල් වංචාව, බස් රථ වලට ජි.පි.එස් යන්ත්‍ර 125 ක් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන කෝටි 3 ක පමණ මුදල් වංචාව මෙන්ම තවත් වංචා කීපයක් සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කෙරුණා.

තවද පොක්ලිෆ් ගෙන්වීමේදී  සිදු වූ බව කියන අක්‍රමිකතා තාවය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට එහි ලිපි ගොනුව සොයා බැලීමේදී එම ලිපි ගොනුව මේ වන විට අස්ථානගත වී ඇතැයි දැනගන්නට ලැබුණු බව සේවකයෝ පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය කළමනාකාර,ගණකාධිකාරී,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කාර්මික),ප්‍රධාන සම්පාදක කළමනාකරු,නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ( මුදල්) , ප්‍රධාන මුදල් කළමනාකාර , තොරතුරු තාක්ෂණ කළමනාකාර ප්‍රධාන නීති නිලධාරීයාට එම චෝදනා එල්ල වු බව ඔවුන් පවසනවා.

එම චෝදනා එල්ල වූ තොරතුරු තාක්ෂණ කළමනාකාරවරයා,  නියෝජ්‍ය සාමාන්‍යධිකාරී( කාර්මික) සහ ප්‍රධාන සම්පාදක කළමනාකරු පමණක් එම තනතුරුවලින්  ඉවත් කර ඇති අතර  අනෙකුත් නිලධාරීන්  මේ වන විටත් එම තනතුරු වල කටයුතු කරන බවට දැනගන්නට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

කොන්දොස්තරවරයෙකු ගෙන් හෝ රියදුරෙකුගෙන් කිසියම් වරදක් සිදු වූවොත් ඔවුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාමාර්ග ගෙන වැඩ තහනම් කිරීමට පියවර ගන්නා සභාපතිවරයා කෝටි ගණන් මහජන මුදල් වංචා කිරීම් වලට සම්බන්ධ උසස් නිලධාරීන් ආරක්ෂා කරමින් කල් මැරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සේවකයෝ වැඩිදුරටත් චෝදනා කරනවා.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසුවා,

“ඉස්ටිල් ඉම්ප්‍රෙක්ස්  සමාගම සම්බන්ධව විමර්ශන  මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරනවා. ඒ වගේම ජි.පි.එස් යන්ත්‍ර සම්බන්ධයෙන් විමර්ශන ලිපිගොනුව තවම ලැබුණේ නැහැ. අනෙකුත් විමර්ශන වාර්තා අභ්‍යන්තර නීතිය අංශය වෙත යොමු කර තිබෙනවා. එහි ලැබෙන  වාර්තා අනුව ඉදිරි පියවරයන් ගැනීමට කටයුතු කරනවා.”