hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 13, ප.ව. 12:50



නීතිවිරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ 38 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පෙරේදා (11) අම්පාර ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර, පිරිමි පුද්ගලයින් 26 ක්, කාන්තාවන් පහක් සහ දරුවන් හත්දෙනෙකු සිට ඇති බව සඳහන්.

එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී බහුදින ධීවර යාත්‍රාවේ එන්ජිමේ කාර්මික දෝෂයක් පවතින බවට ද නිරීක්ෂණය වී ඇති අතර, අදාළ යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස හලාවත, යාපනය, වවුනියාව, වාලච්චේන, කල්පිටිය, උඩප්පුව, ජාඇල සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙවැනි මිනිස් ජාවාරම් සඳහා පැරණි සහ දීර්ඝ මුහුදු ගමන්වලට නුසුදුසු තත්වයේ බහුදින ධීවර යාත්‍රා යොදාගන්නා බවට දිගින් දිගටම නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙවැනි යාත්‍රා මගින් නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කර තම ජීවිත විශාල අවදානමකට ලක් කර නොගන්නා ලෙසයි නාවික හමුදාව වැඩිදුරටත් උපදෙස් ලබාදෙන්නේ.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රෙලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන නැවතත් මෙරටට පිටුවහල් කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය මැයි 24 සහ ජූනි මස 9 වනදින ද එලෙස ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ කණ්ඩායමක් දෙකක් ශ්‍රී ලංකාවට එවීමට එරට රජය කටයුතු කර තිබුණා.

මෙලෙස පිටුවහල් කරනු ලබන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට නැවත කිසිදු දිනක නීත්‍යානුකූල ලෙස ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමේ අවස්ථා ද අහිමිවන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.