hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 22, ප.ව. 1:41



කිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය විධිමත් කර ඇති බවත් ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කර තිබෙනවා.

එම ජංගම අලෙවිසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිදු කිරීම අදාල වෙළද සංගමයට පැවරෙන අතර ජංගම වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගික වාහන නැවතීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා.

ඒ සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමටද පියවර ගෙන තිබෙනවා.

කිඹුලාවල Street Food ජංගම වෙළඳසැල් හිමියන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ මෙම වෙළඳසැල් පෙබරවාරී 24 වනදා විට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

මේ සම්බන්ධයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

මෙම ස්ථානයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා නියාමනය කිරීම පමණක් සිදු කරන බවද ඔහු සඳහන් කළා.

එම සාකච්ඡාවට සහභාගී වූ කිඹුලාවලප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ Street Food ජංගම වෙළඳසැල් හේතුවෙන් තමන්ටද විවිධ බාධා සිදුව ඇති බවයි.

එම බාධා ඉවත්කර දෙන ලෙස ඔවුහූ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටළුවලට මෙන්ම ජංගම වෙළදසැල් හිමියන් මුහුණ දෙන ගැටළුවලටද කඩිනමින් විසදුම් ලබා දෙන බවයි.

ජංගම වෙළඳාම සිදුවන ප්‍රදේශය පිරිසිදු කිරීම අනිවාර්ය බවත්, පිරිසිදු කිරීමේ වියදම් ඇතුළු සියළු වගකීම් අදාල වෙළඳ සංගමය දැරිය යුතු බවටත් මෙහිදී තීරණය කෙරුණා.

කිඹුලාවල STREET FOOD ගැන ආණ්ඩුව තීන්දුවක් ගනී