hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:54



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වන බවට සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සූදානම් වන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ප්‍රකට ව්‍යාපාරික, එල්එස්ආර් (LSR) සමූහ ව්‍යාපාරයේ සභාපති මෙන්ම ඇගේ පියා වන තිලක් වීරසිංහ මහතා ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනකට එක්වී ප්‍රකාශ කරයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත විශේෂ දේශපාලන රැලිය සඳහා ලිමිණි රාජපක්ෂ මහත්මිය සංවිධායකත්වයෙන් හෝ කථිකාවියක ලෙස සහභාගී වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එවැනි කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් පවුල තුළ සිදුව නොමැති බවයි.පවත්නා දේශපාලන වාතාවරණය සහ නීතිමය තත්ත්වයන් හමුවේ තම දියණිය මෙවැනි අවස්ථාවක දේශපාලන වේදිකාවලට ගොඩවීම කිසිසේත්ම සුදුසු නොවන අතර, එය දේශපාලනික වශයෙන් ගත් කල අඥාන ක්‍රියාවක් ලෙස තමා දකින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

තම බෑණනුවන් වන නාමල් රාජපක්ෂ මහතා වත්මන් දේශපාලන පරිසරය තුළ අභියෝගාත්මක මෙන්ම අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින මොහොතක, ලිමිණි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තම කුඩා දරුවන් දෙදෙනාගේ කටයුතු සම්පූර්ණ කරමින් පවුලේ ස්ථාවරත්වය රැකගැනීම මිස දේශපාලන වේදිකා තරණය කිරීම නොවන බව තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි. සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියට ඇය සහභාගී වන බවට පළවන වාර්තා කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත් එකතුවක් බවට ඔහු චෝදනා කරයි. රාජපක්ෂ පවුල සාමාන්‍යයෙන් පවුලෙන් පිටත අයට යම් යම් තනතුරු ලබා නොදෙන බවට මතයක් පැවතියද, නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත හෝ වෙනත් පාර්ශ්වයකගේ බලපෑමක් මත ලිමිණි රාජපක්ෂ මහත්මිය සක්‍රීය දේශපාලනයට කැඳවීමේ කිසිදු සූදානමක් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.

නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි රාජපක්ෂ මහත්මිය සිය දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන්නේ කොළඹ නෙග්‍රිස් පාරේ පිහිටි තිලක් වීරසිංහ මහතාට අයත් නිවසේය. එම පවුලේ සියලු නඩත්තු කටයුතු, ආහාර පාන මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික වියදම් ඇතුළු සියලු දෛනික වියදම් තම පෞද්ගලික ප්‍රතිපාදනවලින් දැරීමට තමා කටයුතු කරන බව පවසන වීරසිංහ මහතා, නිවස තුළ කිසිදු දේශපාලන සාකච්ඡාවක් හෝ ප්‍රචාරක කටයුත්තක් සිදු නොවන බවත්, නාමල් රාජපක්ෂ මහතා නිවසට පැමිණි පසු අතිශය සරල පවුල් ජීවිතයක් ගතකරන බවත් ප්‍රකාශ කරයි. රාජපක්ෂ පවුල සමඟ පැවැත්වෙන මෙම ඥාති සබඳතාව නිසා තමාට සහ තම ව්‍යාපාරවලට නොයෙකුත් චෝදනා එල්ල වුවද, 2015 වසරේදී රාජපක්ෂවරුන් බලයෙන් බැහැරව සිටි සමයේ සිදුවූ මෙම විවාහය දරුවන්ගේ කැමැත්ත මත සිදුවූවක් බැවින් ඒ පිළිබඳව තමා කිසිසේත් පසුතැවෙන්නේ නැති බවද ඔහු කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: