hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 12:04



බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කළ TIN අංකයට මුවාවී ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම් වලින් මුදල් වංචා කරන කල්ලියක් ක්‍රියාත්මක වී සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.

මෙම කල්ලිය දුරකථනයේ ඇමතුමක් ලබාගෙන රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර ජනතාව රවටන බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.

අනතුරුව මෙම පුද්ගලයින් එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටින අතර ඔවුන්ට හසුවු ජනතාව වැඩිදුර සොයා බැලීමකින් තොරව එම රහස්‍ය අංකය ලබාදීමට කටයුතු කර ඇති බවද සදහන් කරයි.

රහස්‍ය අංකය ලබා ගන්නා මෙම කල්ලිය තමන් සමග සම්බන්ධවූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළුවී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.

මෙම කල්ලිය මේ වන විට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමි නමකගේ ගිණුමකින් (07) දිනයේ රුපියල් දෙලක්ෂ හැට දහසක මුදලක් සහ පසුගිය සතියේ තවත් අයකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාගෙන ඇත.

එනිසා දුරකථන ඇමතුමක් ලබාගෙන පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙසත් මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: