hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 2:07



පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට මෙරට තුළ රැඳි සිටීමට සුදුසුකම් නොමැති අයෙකු බව ටෙලෝ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි ජේ චන්ග් පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

සරත් විරසේකර මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කුරුන්දූර්මලෛ හෙවත් කුරුන්දි පුරාවිද්‍යාත්මක ස්ථානය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන බව ද ඔහු අවධාරණය කළා.

හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත දී අදාළ ප්‍රකාශ සිදු කරන ලෙසයි එහි දී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා අභියෝග කළේ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ සිහිය විකල් වී ඇතැයි හැඟවෙන පරිදි අදහස් සරත් වීරසේකර මහතා පවසා තිබෙනවා.

මෙය නීති ක්ෂේත්‍රය හෑල්ලුවට ලක් කීරිමක් බව ද අඩෙයිකලනාදන් මහතා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශ සිදු කළ ද එය සාමාන්‍ය ප්‍රකාශයක් යැයි සිතීමට නොහැකි බවයි සෙල්වම් අඩෙයිකල නාදන් මහතා අවධාරණය කළේ.

මේ අතර උතුරු – නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනයාගේ පැවැත්ම නැති කරන අයුරින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඔහු චෝදනා කළා.

නැවතත් දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයක් ඇති වනු ඇතැයි තම ජනයා බියට පත් වී සිටින බවයි ඔහු අවධාරණය කර සිටියේ.

රට තුළ ජාතිවාදි අදහස් ව්‍යාප්ත කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිටින බවත් ඔවුන්ට බියේ තම අදහස් ප්‍රකාශ කිරීමේ තත්ත්වයට දේශපාලනඥයන් පත්ව සිටින බවත් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ප්‍රකාශ කළා.

මෙම රට තුළ ජීවත් වීමට දෙමළ ජනයාට සම්පූර්ණ අයිතියක් තිබෙනවා.

එහෙත් මෙම ජනයා විනාශ කිරීමට බොහෝ උත්සහයන් සිදු වනවා.

වාර්ගික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවන් ආණ්ඩුව සතුවත් බහුතර ජනයා සතුවත් නොමැති බව ද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.