hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 01, ප.ව. 1:52



පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමට දුම්රිය බලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝම‍රත්න මහතා කියා සිටියේ මේ වන විට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිත කන්කසන්තුරය බලා දිවෙන දුම්රිය පැය එකහමාරක් ප්‍රමාද වී ඇති බවයි.

එම දුම්රියට අවශ්‍ය ඉන්ධන පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බවත්, මේ වනවිට කොටුව දුම්රිය ස්ථානයේ දුර ගමන් දුම්රිය ක්‍රියාත්මක කිරීම බරපතළ අර්බුදයකට ලක් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පිළිතුරු සෙවීම පසෙක තබා දුම්රිය බලධාරින් ජංගම දූරකථනවලට හෝ ප්‍රතිචාර නොදක්වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින්, මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු අත්හිටුවීමට තීරණයක් ගත් බවත්, රජය සහ බලධාරින් මැදිහත් වී මේ තත්ත්වය සමනය කිරීමට පියවර නොගතහොත්, ඉදිරියේ දී දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කරගන්නා බවත් ඔහු සඳහන් කළා.

මේ වන විටත් සති අන්තයේ ගම්බිම් බලා පිටත්ව යාමට පැමිණ සිටින පිරිස ද සමගින් අතිවිශාල මගී ජනතාවක් කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වෙනවා.

මේ අතර අද පෙරවරුවේ කොළඹ රැකියා සඳහා පැමිණි පිරිස ද දැඩි අසීරුතාවයකට පත් වෙනවා.

එමෙන්ම ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (01) දිනයේ දුම්රිය 22ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.