hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 මාර්තු 16, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදුවුණා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ මෙය සිදු කරනු ලබනවා.

මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය දුම්රිය මගීන්ට සහ සංචාරකයින්ට නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය යටතේ තම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත විද්‍යුත් ටිකට්පත සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලෙස ගමනන්ත දක්වාම භාවිත කිරීමේ හැකියාව හිමිවනවා.

ඒ අනුව මෙතෙක් පැවති දුම්රිය ස්ථානය වෙත පැමිණ වෙන් කරවා ගත් ටිකට් පත් ලබා ගැනීමේදී මගී ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් රැසක් මෙම ක්‍රමය සමඟ මඟහැරී යනු ඇති.

එමෙන්ම රජය සේවකයින් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන දුම්රිය බලපත්‍රයද මාර්ගගත ක්‍රමය යටතේ විද්‍යුත් දුම්රිය ගමන් බලපත්‍රයක් ලෙස වෙන් කර ගැනීමේ අවස්ථාව මෙම ක්‍රමය යටතේ හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තම කාලය ශ්‍රමය ඉතිරි කර ගනිමින් මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන M-ticketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා පැය 24 පුරාම අවස්ථාව හිමිවනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: