hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 3:11



ඉන්දියානු සාගර කලාපීය රටවල සුනාමි බලපෑම් අවම කිරීමේ අරමුණෙන්, සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන හෙට (04) පැවැත්වීමට නියමිතයි.

ඉන්දියානු සාගර කලාපීය රටවල් 28ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙය හෙට (04) පෙරවරු 09.30 සිට 11.30 දක්වා ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.

සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය යුනෙස්කෝ සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය දැනුවත් කිරීම අද (03) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

2004 වර්ෂයේ අතිබිහිසුණු සුනාමි ඛේදවාචකය තුළින් ශ්‍රී ලාංකිකයන්ට අත්විඳීමට සිදු වූ දරුණු උවදුරට යළිත් ගොදුරු නොවී, නැවත එවැනි තත්ත්වයක පෙර සුදානම් විය යුතු ආකාරය මෙහිදී දැනුවත් කරනු ඇති.

හෙට (04) පැවැත්වෙන සුනාමි පෙරහුරුව ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් බව පෙන්වාදුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.

“ ‌විශේෂයෙන්ම සුනාමි කියන දේ ඇතිවෙන්නේ සාමාන්‍යයෙන් ගත්තම මුහුදු පතුලේ තියෙන ස්ථර එකිනෙකට චලනය වෙලා ඇතිවෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් උල්කාපාත කඩා වැටීම් වගේ සංසිද්ධි ඇති වෙන්න පුළුවන්.. මුහුදේ ඇතිවෙන භූමිකම්පා තුළිනුත් සුනාමි ජණනය වනවා.. මෙවැනි සුනාමි ජණනය වුණ වහාම ඉන්දියන් ඕෂන්වල ඇතිවෙන මේ වගේ දෙයක් විශේෂයෙන්ම මධ්‍යස්ථාන තුනකින් අපිට මෙම අනතුරු ඇඟවීම් පිළිබඳ පූර්ව දැනුම්දීමක් කරනවා..

පළවෙනි එක තමයි ඉන්දියාව, ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව.. මේ දෙන දැනුවත් කිරීම් තුළ අපි තේරුම් ගන්නවා මේ සුනාමි ඇතිවුණේ ලංකාවට කොච්චර දුරින් ද? ඊට අමතරව කොච්චර ගැඹුරක සීමාවක ද සහ මේ සුනාමියෙන් ජණනය වන තරංගයේ විස්තරය අනුව අපිට පුළුවන් සුනාමියේ තියෙන ශක්තිය කොච්චරක් ප්‍රමාණයක් ඇතිවෙනවාද කියන එක. එතකොට ඒ තුළ තමයි අපි සුනාමි දැනුවත් කිරීමේ වැඩසටහන, ආපදා කළමනාකරණ අංශය සහ ජනතාවට දැනුවත් කිරීම් සිදුකරන්නේ..”

“ශ්‍රී ලංකාව‌ මෙම වසරේ තවත් රටවල් 28ක් සමග ඒකාබද්ධ වී ඔක්තෝබර් 04 වැනි දින උදෑසන 09.30ට සුනාමි අවදානම දැනුවත් කිරීමක් සහ ජනතාව ඉවත් කිරීමේ පෙරහුරුවක් සිදුකෙරෙනවා. මෙම පෙරහුරුවට මෙම වසරේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය හා මාතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් සමගාමීව සහ හෝටල් සංකීර්ණ ද ඇතුළත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලය සහ ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක කාර්යාල සම්බන්ධීකරණයෙන් මෙම පෙරහුරුව සිදුකෙරෙනවා. ජනතාවට දැනුවත් කරනවා, මෙය සත්‍ය සිදුවීමක් ලෙස කලබල විය යුතු නැහැ.

කෙසේවෙතත් මෙම පෙරහුරුව සිදුකරන පැය තුළ දී සත්‍ය වශයෙන්ම යම් දෙයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු විධිවිධාන යොදා තිබෙනවා”