hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 8:40



තීරුබදු නොගෙවා ආනයනය කරන ලද ජීප් රථ 400කට පමණ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කිරීමේ මහ පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර නිලධාරියෙක් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ජාවාරමේ මහ මොළකරු ද එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පැවසෙන්නේ.

තීරුබදු නොගෙවා හොරෙන් මෙරටට ගෙන්වන මොන්ටෙරෝ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රිය සඳහා ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු මෙම ලේඛනාගාර නිලධාරියා ඇතුළු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් ද සමග එක්ව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව එම කොට්ඨාසය පවසනවා.

එම කොට්ඨාසය අවධාරණය කරන්නේ, එලෙස සකස් කරන ලද ව්‍යාජ දත්ත සහිත සුපිරි ජීප් රථ 400ක් පමණ මෙරට ධාවනය වන බවත් එම කොට්ඨාසය සඳහන් කරන අතර,එම සෑම ජීප් රියක්ම රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමක් ඇති බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර නිලධාරියා සතුව ද රුපියල් කෝටියකට වැඩි එවන් ජීප් රියක් තිබී එම රථය ද නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම රථයේ දත්ත වෙනස් කර ලිපිගොනුවක් සකස් කර ඇති බවයි.

ඒ අනුව,එම කොට්ඨාසයට කියා සිටින්නේ, පොලිසිය කිසියම් සැකයකට එම ජීප් රිය අත්අඩංගුවට ගෙන එම රථයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අමතන්නේ නම් එම දෙපාර්තමේන්තුවේ සටහන් තොරතුරුවලට අනුව පොලිසියට එම රථය මුදාහැරීමට සිදුවන බවයි.

අත්අඩංගුවට ගැනුණු ලේඛනාගාර නිලධාරියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයා සමග එකතු වී කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇත.

මොවුන් දෙදෙනා අතර හුවමාරු වූ දුරකතන ඇමැතුම් 450ක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් අරඹා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන ඇරඹුණු අතර නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නොව ප්‍රාදේශීය මට්ටමින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලවල දත්ත ඔස්සේ වීම විශේෂත්වයක් වී ඇත.

එම දත්ත සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත සසඳා බලද්දී මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ දත්ත ව්‍යාජ ඒවා බව අනාවරණය වී තිබෙන අතර, ඒ අනුව හෙළි වී ඇත්තේ අනතුරට ලක්වූ ජීප් රථ, ධාවනය කිරීමට නුසුදුසුව අයින් කරන ලද ජීප් රථවලද අංක ද මෙලෙස හොර රහසේ තීරුබදු නොගෙවා ගෙන්වන ලද ජීප් රථවලට ඇතුළු කර ව්‍යාජ දත්ත ඇසුරෙන් ලිපිගොනු සකස් කර ඇති බවයි.

මේ ජාවාරමට ලේඛනාගාර නිලධාරියා ඇතුළු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ තවත් සේවකයන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව ත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉදිරියේදී මෙලෙස ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සහිත මෙරට ධාවනය වන ජීප්රථ කොටුකරගැනීම සඳහා මෙහෙයුම් අරඹන බව ද එම කොට්ඨාසය අවධාරණය කරනවා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත ඇතුළු සැරයන් ජයලාල් (428), කොස්තාපල් ප්‍රියන්ත (94109) සහ උදයකුමාර (54889) යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගිවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: