hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 03, ප.ව. 11:09



මේ වන විට මෙරට ජනතාව හොර රහසේ රට පැනීම වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව කූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු ඊයේ (02) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මුලින්ම මාරවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මවක සහ පිළිවෙලින් 14 සහ 18 හැවිරිදි දියණියන් දෙදෙනෙකු සමග ඊයේ (02) රාත්‍රී 08.05 ට කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් සතු ඉතාලි වීසා බලපත්‍ර පිළිබඳව මතු වූ සැකය මත කටාර් ගුවන් සේවා නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයෙහි රාජකාරියේ නිරත  ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට පසුව තවත් මාරවිල ප්‍රදේශයේ පදිංචි මව , පියා , පුතු සහ දියණියක ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු පවුලක පිරිසක් අද (03) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ ඉතාලිය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම පවුලේ 35 හැවිරිදි මවගේ ඉතාලි වීසා බලපත්‍රය පිළිබඳව ද සැක මතු වී තිබූ හෙයින් ඇය ද පිටත්වීමේ පර්යන්තයේ සේවයේ නිරත වී සිටි ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එසේම එම ගුවන් යානයෙන්ම ඩුබායි ඔස්සේ ඉතාලිය බලා පිටත්ව යාමට පුත්තලම , තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිට තිබෙනවා .

එහිදී ඇය ඉදිරිපත් කර තිබූ ඉතාලි වීසා බලපත්‍රය පිළිබඳව ද සැක මතු වී තිබූ හෙයින් ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා විසින් මොවුන් පස් දෙනා සහ ඔවුන්ගේ වීසා බලපත්‍ර කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වල දී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

ඉන්පසුව මෙම ගුවන් මගීන් පස් දෙනා අත් අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , දැනට ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතා නිසා තමන් මෙසේ ඉතාලිය වෙත පැන යාමට සැළසුම් කළ බව හෙළිදරව් කර තිබෙනවා.

මීට පෙර ද මෙම ගුවන් මගීන් ඉතාලිය වෙත ගොස් තිබූ බවත් , මෙවර මෙම ගුවන් මගීන් පස් දෙනාම මන්නාරම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු මගින් මෙම ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වල දී අනාවරණය කර ගෙන තිබුණා.

පසුව මෙම ගුවන් මගීන් පස් දෙනා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.