hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 11:11



පොළොන්නරුව වැලිකන්ද නවසේනපුර පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා නිලධාරීන් තමන්ට පහරදී, විවිධ හිරිහැර පීඩාවන්ට ලක්කර ආහාර ලබා නොදෙන බවට චෝදනා කරමින් එම කඳවුරේ පුනරුත්ථාපන රැඳවියෝ දෙසීයකට වැඩි පිරිසක් ඊයේ (24) එම කඳවුරේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වූ බව වාර්තා වෙනවා.

මෙලෙස කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වූ පුනරුත්ථාපන රැඳවියන් ප්‍රධාන දොරටුව කඩාගෙන පලායෑමට සූදානම් වීමත් සමඟ වැලිකන්ද පොලිසිය වහා ක්‍රියාත්මක වී යුද හමුදාවල සහ හිඟුරක්ගොඩ, අරලගංවිල යන පොලිස් ස්ථානවලින් විශේෂ පොලිස් කණ්ඩායම්ක් කැඳවා එම කඳවුරේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

විරෝධතාවයේ නිරත පුනරුත්ථාපන රැඳවියන් චෝදනා කළේ තම කඳවුරේ සිටින ඇතැම් හමුදා නිලධාරීන් තමන්ට පහරදී වදදෙන බවත්, තමන්ට නියමිත ආහාර ලබා නොදෙන බවත්ය, තම සාමාජිකයන් සිවු දෙනකුට පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බවද රැඳවියෝ මෙහිදී ආරක්ෂක අංශ ඉදිරියේ ප්‍රකාශ කළා.

රජය රැඳවියකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 22ක මුදලක් වෙන් කරන බවත්, එම මුදලින් තමන්ට ප්‍රමාණවත් පහසුකම් සහ ආහාර ලබා නොදෙන බවත්, තමන්ට ලබාදෙන ආහාර කඳවුරේ ඇතැම් හමුදා නිලධාරීන් රහසේ නිවෙස් කරා රැගෙන එන යන බවද රැඳවියෝ මෙහිදී චෝදනා කළා.

පිටට පුනරුත්ථාපනය ඇතුළට වධකාගාරය යනුවෙන්ද විශාල පෝස්ටර් මෙම කඳවුරේ ප්‍රධාන ගේට්ටුවේ පුනරුත්ථාපන රැඳවියන් විසින් අලවා තිබෙන බවද වාර්තා වෙනවා.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ යුද හමුදාව පහර දුන් බවට සැක කරන සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් සිවු දෙනකුගෙන් පැමිණිලි සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඔවුන්ගේ පැමිණිලි හා සාක්ෂි මත පහරදුන් යුද හමුදා නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද සමන්ත රත්නායක මහතා කළ විමසීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉකුත් ජුනි මාසයේ  29 වැනිදාද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු, හමුදා නිලධාරීන් සිවු දෙනකු පහරදී මියයෑමත් සමඟ රැඳවියන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී  රැඳවියන් විශාල පිරිසක් පලා ගියා.