hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2026 ජූනි 02, පෙ.ව. 12:17



රජයට පමණක් දොස් නොකියා, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව ද තමන්ගේ පරිභෝජනය කළමනාකරණය කරගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට වගබලා ගතයුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසති.

සහනාධාර මතම යැපෙන ක්‍රමය තුළින් රටක් කිසිසේත්ම ඉදිරියට ගෙන යා නොහැකි බව උන්වහන්සේ පෙන්වා දෙති.

නිරන්තරයෙන් ඉහළ යන විදුලි, ජල සහ ඉන්ධන බිල පිළිබඳව ජනතාව මැසිවිලි නැඟුවද, ඔවුන් තුළ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති බව රාහුල හිමියන් පෙන්වා දෙති. පසුගිය දිනවල නාමල් උයන නැරඹීමට පැමිණි පිරිස් මෙන්ම මහාමාර්ගවල ගමන් කරන තරුණ පිරිස් දෙස බැලීමේදී, ඔවුන් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා විශාල වශයෙන් ඉන්ධන නාස්ති කරන බව තමන් වහන්සේ නිරීක්ෂණය කළ බව ද උන්වහන්සේ පැවසූහ.

රටේ පවතින සහනාධාර ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ, නිදහසින් පසු දශක හතකට වැඩි කාලයක් පුරා ජනතාව “පිනට කෑමට” හුරු වී සිටින බව ප්‍රකාශ කළහ. වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ වැනි සුභසාධන වැඩසටහන් පවා සීමිත කාලසීමාවකට එනම් මාස 6ක් හෝ වසර 2ක් වැනි කාලයකට පමණක් සීමා කර, ඉන් පසු අහෝසි කළ යුතු බව උන්වහන්සේ යෝජනා කරති.

“මේ රටේ හැමදාම දුන්නේ නිකන්. අස්වැසුම දුන්නා, මේ ක්‍රමය අහෝසි කරන්න ඕනේ. මොකද අපි අවුරුදු හැත්ත ගාණක්ම පිනට කාලා පුරුදු වෙලා අදටත් අපි පිනට කන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා මම කියන්නේ අස්වැසුම පවා සීමා සහිතව, ඒ කියන්නේ මාස 6කට එහෙම නැත්තම් අවුරුදු 2කට දෙනවා, එතනින් එහාට මේක නෑ කියන වැඩපිළිවෙළක් අවශ්‍යයි. සහනාධාර දිදී, පඩි දිදී මේ රට ගොඩනගන්න බෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: