hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 1:16



පවතින උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ජල පරිභෝජනය සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුගේ සාමාන්‍ය දිනක දෛනික ජල පරිභෝජනය ලීටර් 120ක්.

නමුත් වියළි කාලගුණික තත්ත්වයත් සමග මෙම ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා.

මේ නිසා ජල සම්පාදන ක්‍රමවලට සපයාගත හැකි ජල ප්‍රමාණය අඩුවීමෙන් දිස්ත්‍රික්ක 11ක ජල සම්පාදන ක්‍රම 43ක ජල සම්බන්ධතා 131132කට ජලය සැපයෙන්නේ (ඉකුත් 24 වැනිදා වන විට ) මුර ක්‍රමයට හෝ බවුසර් මගින් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කලුආරච්චි පැවසුවා.

රත්නපුර, මහනුවර, මාතලේ, බදුල්ල, කළුතර, නුවරඑළිය, මාතර, හම්බන්තොට, අම්පාර, මොනරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජල සම්පාදන ක්‍රමවලට ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රවල ජල ධාරිතාවය අඩු වී තිබෙනවා.

මහනුවර හන්තාන ප්‍රදේශයට සියයට සියයක්ම ජලය සැපයෙන්නේ මුර ක්‍රමයට බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය කීවා.

ජල පාරිභෝජනය මේ දිනවල ක්‍රමයෙන් වැඩිවීම නිසා ජල සම්පාදන ක්‍රමවල ප්‍රධාන ජල ටැංකිවල ජල ප්‍රමාණය ඉක්මනින් අවසන් වන බවත්, දැඩි උෂ්ණත්වය නිසා ඇතැමුන් දිනකට අවස්ථා දෙකක් හෝ තුනක් ස්නානය කරන බවද ඇය පැවසුවා.

ජල මූලාශ්‍ර රැසක් සිඳී පවතින මෙම අවස්ථාවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, වාහන සේදීම, නළ මගින් මල්වලට ජලය දැමීම ආදී කටයුතු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවා.