hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, පෙ.ව. 9:36



ලොකු ලොක්කන් ගෙවීම පැහැරහැර ඇති රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් ගැන ක්‍රියාමාර්ග නොගෙන තමා ද ඇතුළු පහළ පන්තියේ සාමාන්‍ය මිනිසුන්ගේ බිල්පත් පසුපස යමින් විදුලිබල මණ්ඩලය අසාධාරණ විදුලි කප්පාදුවක නිරතවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවා.

මේ රටේ මේ වන විට ගෙවිය යුතු හිඟ විදුලි බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන හතරහමාරක් බවත් එම රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් සාමාන්‍ය ජනතාවගේ නොවන බවත් මේ වනවිට විදුලි බිල්පත් ගෙවීම් නොකළ තමාගේ නිවසේ විදුලිය ද විදුලිබල මණ්ඩලය මගින් විසන්ධි කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවා..

ඒ මහතා මේ බව පැවැසූයේ ඊයේ (28) මාතර පැවති ජනහමුවක් අමතමින්.

වැඩිදුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා,

“මගේ නිවසේ විදුලි බිල් ගෙවන්න බැරිව සතියයි ගත වුණේ. විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ල මගේ නිවසේ විදුලිය විසන්ධි කරල ගියා. බොහො ම අමාරුවෙන් ඊට පස්සේ එම විදුලි බිල ගෙවලා තමයි සම්බන්ධතාව ගන්න වුණේ. බොහො ම අමාරුවෙන් විදුලි බිල දාලා ආපහු වැලිගමට ගිහිල්ලා ලොකු රවුමක් ගිහිල්ල තමයි විදුලිය ගත්තේ. විදුලිය කපන්න එන කෙනාට ඒ ඕඩරය හම්බ වුණා ම එයා කපල යනවා. සාමාන්‍ය මිනිස්සු හැමෝටම ඒ සෙත එහෙමම තමයි.

මේ මිලියන 4,500 විදුලි බිල ගෙවන්නේ නැත්තේ කවුද? ඉහළ පන්තියේ මිනිසුන් සහ ආයතනත් ඉහළ දේශපාලනඥයෝ විය යුතුයි මේ මිලියන හාරදාස් පන්සීය නොගෙවන අය. අහිංසක මිනිසුන්ගේ ලයිට් බිලට සීයට 275ක් එකතු කරනවට වඩා අර මිනිසුන්ගෙන් සල්ලි ටික එකතු කරගන්න එක මේ මොහොතේ කළ යුත්තක් නොවේ ද? අනෙක් පැත්තෙන් විදුලිය නිෂ්පාදනය සඳහා යන වියදම වැඩිවෙලා තියෙනවා. අලුත් විදුලිය උත්පාදනය කරන ක්‍රමවේදයන් සහ ජාතික පද්ධතියට විදුලිය ජනනය වන ක්‍රමවේද සියල්ල ම අත්හැරල දාල තමයි මේක අල්ල ගන්න පුළුවන් පහළ ම තැන සාමාන්‍ය මිනිසුන්ගේ බොටුවෙන් අල්ලලා මේ ප්‍රශ්නේ විසඳගන්න හදන්නේ?

ඒ වගේ ම අනෙක් පැත්තෙන් පෙරේදා ගැසට් එක එනවා වතුර බිල සම්බන්ධ කාරණාව. සැප්තැම්බර් පළමු වන දා ඉඳලා ජල බිලත් මේ හා සමානව වැඩිවෙමින් තියෙනවා. ඒකත් ජල ඒකක අඩු ම ප්‍රමාණයක් භාවිත කරන මිනිසුන් තමයි තවදුරටත් පීඩාවට පත්වෙන්නේ මේ ක්‍රමයෙන්. ලයිට් නැතිව නම් කොහොමහරි ඉන්න පුළුවන් වේවි. ජලය කියන්නේ අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක්. වතුර බිල වගේ ම විදුලි බිලත් යම් ප්‍රමාණයකට වැඩි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා, හැබැයි වැඩි කරන්න ඕන ක්‍රමවේදයන් වැඩි කරන්න කලින් ඒ ආයතනවල තියෙන වංචා, දූෂණ සහ එම ආයතනවල තියෙන නාස්තිකාර මුදල් ටික නොකපා පුළුවන් පහළ ම තැනින් අහිංසක මිනිසුන්ගේ බෙල්ලෙන් අල්ලලා හිර කරන එක තමයි මේ කරන්නේ. ඒක නිසා මේ හැම ක්‍රියාමාර්ගයකින්ම නැවත වතාවක් පීඩනයට පත් වෙන්නේ මීට මාස කිහිපයක සිට ම පීඩාවට පත්වූ පහළ පන්තියේ පහළ ස්ථරයේ මිනිස්සු.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: