hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 10:13



යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට ළඟා විය හැකි බව චීන රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැන්වූ බවත් ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා අගෝස්තු 16 – 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ දැක්වෙන්නේ.

සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව ඊයේ (13) ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අගෝස්තු 16-22 දක්වා යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර දුන් බව එම නිවේදනයේ සඳහන් වන්නේ.

සියලු රටවල් සමඟ සහයෝගීත්වයෙන් සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් අවධාරණය කළේ.

අසල්වැසියාගේ ආරක්ෂාව සහ සහයෝගීත්වයට ශ්‍රී ලංකාව සැමවිටම ප්‍රමුඛතාව ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

යුවාන් වෑන් 5 නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මීට පෙරත් අවසර ලබාදී තිබුණා.

පසුව එම දිනය කල් දමන ලෙස දැනුම් දුන්නේ චීන නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මුල සිටම විරෝධය පළ පළකර ඇති පසුබිමකයි.

ඒ මෙම පර්යේෂණ නෞකාවට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් එය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන කල්දමන දෙස ශ්‍රී ලංකාව චීනයට දන්වා සිටියේ ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් මත බවයි.

එම නෞකාව ඉන්දියානු සාගරයේ සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා කියා සිටින්නේ ඉන්දියානු සාගර කලාපයේ චීන බලකා ස්ථාපනය ගැන අවධානයෙන් පසුවන බවත් එය ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සිදුකළ යුතු කාරණයක් බවයි.