hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 07, පෙ.ව. 10:01



යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එකඟ විය නොහැකි බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මේ අතර යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර් මහතා ද සඳහන් කර තිබුණා.

මෙම තත්වය හමුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර, මෙම පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ පහරක් බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ද මීට සති කිහිපයකට පෙර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

පනත් කෙටුම්පතින් ත්‍රස්තවාදය යන්න නිර්වචනය කිරීම සහ රඳවා තබා ගැනීමේ විධිවිධාන නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒමට රජය තීරණය කළ අතර එය පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මහා සංඝරත්නයෙන් මෙන්ම පොදුවේ සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දින නියමයක් නොමැතිව කල් ගිය අතර සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

මේ අතර යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ ද තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: