hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 11:26



මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් නිදහස් ජනතා සන්ධානය කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයින් කිහිපදෙනෙකුට ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම අවස්ථාවට සහභාගී වන්නැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතාට, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කිසිදු ආරාධනයක් සිදු කර නොමැති බව වාර්තා වනවා.

මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා (28) මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ නිදහස් ජනතා සන්ධානය කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයකු වන තමන්ට ආරාධනාවක් නොකළ බවයි.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ 07ක් තිබෙන බවත් ලංකා සමසමාජ පක්ෂය එහි සාමාජික පක්ෂයක් බවත් පෙන්වා දෙන විතාරණ මහතා සියලු පක්ෂ එකතු වී මැතිවරණයට මුහුණදීම සඳහා ගොඩනැඟූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන්ට ආරාධනා නොකළේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවද අවධාරණය කළා.

නිදහස් ජනතා සන්ධානය යටතේ පළාත් පාලන ආයතනවලට නාමයෝජනා ලබා දීමේදී ලංකා සමසමාජ පක්ෂය මගින් ද අපේක්ෂක ලැයිස්තු සඳහා නම් ඉදිරිපත් කළත් අවසන් ලැයිස්තු පිරික්සීමේ දී එම නම් බොහොමයක් හැලී ගොස් තිබුණු බවද හෙතෙම පැවසුවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ලංකා සමසමාජ පක්ෂය මඟින් අපේක්ෂක නම් ඉදිරිපත් කළත් ඒ කිසිවකුට නිදහස් ජනතා සන්ධානය තුළ ඉඩක් නොලැබුණු බවත් මේ නිසා පළාත් පාලන ආයතන කිහිපයකට සමසමාජ පක්ෂය යටතේ නාම යෝජනා ලබාදීමට සිදුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

වාමාංශික බලය වැඩිපුර පවතින මාතර දිස්ත්‍රික්කය සඳහා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේ එක් අපේක්ෂක ධුරයක් පමණක් වුවත් එය ද ලබා නොදුන්නේ යැයි තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළා.

ලංකා සමසමාජ පක්ෂයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ කිසිවක් හමුවේ තමන් නොසැලෙන බවත් මහාචාර්යවරයා පැවසුවා.

තම පක්ෂයට සිදුවන කෙනෙහෙලිකම් සම්බන්ධව තරහක් නොමැති බවත් මෙම සන්ධානය කඩා ඉහිරවීම පිණිස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ ද යන්න සොයා බැලිය යුතුව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

එවැනි රැස්වීමක් පවත්වා තිබෙන බව තමන් දැන ගත්තේ පසුදින බවත් ආරාධනා පත්‍රයක් එවීමට නොහැකි වූවානම් අඩු තරමින් දුරකතනයෙන් හෝ මෙම රැස්වීම සම්බන්ධව තමන්ව දැනුවත් කිරීමට තිබූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: