hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 10:21



ණය අර්බුදයෙන් රට මුදාගැනීම සේම ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකි ආර්ථිකයක් ගොඩනැංවීම ඉතා වැදගත් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිගනිමින් ජනපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී  ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානි පීටර් බි්‍රයුවර් (Peter Breuer) මෙම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ශ්‍රී  ලංකාවට ලබාදීමට නියමිතව තිබෙනවා

මෙහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසුවා,

“මේ තමයි අපි පළමු වතාවට රට බංකොලොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොලොත්බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදාගැනීම වගේම සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍ය කාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යෑමේදී අපට වර්ධනයක් ළඟාකරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමඟින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යෑම වඩාත් පහසු වේවි.”

ණය පහසුකම ලබාගැනීමේ අරමුණු ලෙස මූල්‍ය  විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමෙන් දූෂණය අවම කිරීම, රාජ්‍ය පාලනය ගැඹුරු ලෙස විනිශ්චය කරමින් ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හදුන්වා දීම, සමාජ සුබ සාධනය සඳහා වන වියදම් ඉහළ නැංවීම මඟින් දුප්පත් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් මත ඇතිව තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම, සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිලාභීන් නිවැරැදි ලෙස හදුනා ගැනීම අයත් යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයෙහි සඳහන් කරනවා.

එසේම රාජ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ආදායම් ඉහළ නැංවීම, පෞද්ගලික ආදායම් බදු වඩා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හදුන්වා දීම, ආයතනික ආදායම් බදු සහ වැට් බද්දට අදාළ පරාසය පුළුල් කිරීම මෙම බදු ප්‍රතිසංස්කරණවලින් 2024 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම සහ රාජ්‍ය සතු ව්‍යවසායෙහි  වැඩි වන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිපූර්ණය කළ හැකි මිල යාන්ත්‍රණයක් ඉන්ධන සහ විදුලි බලය සඳහා හදුන්වාදීමද මෙම අරමුණුවල සඳහන් බව එම නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: