hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 පෙබරවාරි 23, ප.ව. 3:30



කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවටත් ඇතැමුන් විශ්වාස කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

මෙරට කාන්තාවන් ඉතා බුද්ධිමත් පිරිසක් බැවින් ඔවුන් ව්‍යාජ දේශපාලන ප්‍රයත්නයන්ගෙන් මුලා කිරීමට නොහැකි බවත් මත්ද්‍රව්‍ය මෙරටින් තුන් කරමින් ආර්ථික ස්ථාවර බව ඇති කිරීම මගින් කාන්තාවන්ගේ සැබෑ ගැටලු වලට විසදුම් ලබාදීමට ආණ්ඩුව සමත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී අද (23) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන එක් වූ අවස්ථාවේදීයි.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් රාජ්‍ය සේවාවන් ජනතාවෙ වෙතටම ගෙනයාම අපේක්ෂා කරයි. ඒ අනුව මෙම වැඩසටහන අද (23) හා හෙට (24) දෙදින කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“ජයගමු ශ්‍රීලංකා අද කෑගල්ලට එන්නෙ කිසිම පක්ෂ පාට බේදයක් නැතුවයි. අද අපි මුහුණ දී ඉන්න මේ ආර්ථික යුද්ධය ජයගන්න අවශ්‍ය වන ඒ මහා සේනාව සංවිධනය කිරීමයි. මේ මාස 18ට ඩොලර් බිලියන 8කට අධික මුදලක් එවන්න කටයුතු කළේ රට විරුවන්. ඔවුන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් දැක්වුවා. විදේශ ගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ජාතියේම ආචාර්ය හිමිවිය යුතුයි.

අද හැමතැනම හැමෝම මොන විදිහෙ පක්ෂ පාට සන්ධාන හදාගෙන ඒවට බෙදිල කෑගැහුවත් මේ රටේ පැහැදිලිව අද තියෙන්නෙ කදවුරු දෙකයි. එක් කඳවුරක් වෙන්නේ, මේ වැටිලා ඉන්න, බලහත්කාරයෙන් අපව ඇදල දාල තියෙන ආගාධයෙන් ගොඩ එන්න ඇත්ත ප්‍රායෝගික කැපවීමකින් කටයුතු කරන කදවුර හා ඒ අර්බුදයෙන් මේ රට ගොඩගන්නවා කියල බොරුවට කෑගහමින් විදේශීය බලවේගයන්ගේ ගොදුරු බවට පත්වෙලා මේ රට තව තවත් ආගාධයට අර්බුදයට ඇදල දාන කදවුරයි.

දැන් දැවැන්ත ලෙස පොස්ටර් කටවුට් ගහන පිරිසක් ඉන්නවා. රට පුරාම සැණකෙලියක් වාගේ ජනහමු රැස්වීම් තියමින් රට ගොඩගන්න ජනාධිපතිතුමා දරණ උත්සාහයට කකුල් මාට්ටු දාන පිරිසක් ඉන්නවා. මේ පිරිස එදා කිව්ව දෙවල් ජනතාවට අමතක වෙන්න විදිහක් නැහැ. ඒ පිරිස දැනට අවුරුදු දහයකට විතර කලින් කීව්වෙ එවකට ජනාධිපතිවරයා මැතිවරණයට පොස්ටර් කටවුට් ගහන්නෙ චීනෙන් සල්ලි අරන් කියල. ඉතින් අද මම අහන්න කැමතියි මේ පිරිස මේ තරම් සල්ලී කන්දරාවක් වියදම් කරන්නෙ කොහෙන් කාගෙන් අරගෙනද කියල. මේක ප්‍රසිද්ධියේමයි අහනවා ඒ වගේම මේ රටේ ජනතාවට මේකට උත්තර දිය යුතුයි. මේවා මේ රටේ ජනතාව දැනගත යුතුයි. ජනතාව දැන් බය නැතුව විමසන්න ඕනේ කොහෙන්ද ඔයාලට ඔය තරම් මුදල් කන්දරාවක් ලැබුනෙ කියල.

මම කරිජ්ජයි මිරිජ්ජයි දෙකම අදුරන මනුස්සයෙක්. කරිජ්ජ කිව්වෙ කරදියට, මිරිජ්ජ කිව්වෙ මිරිදියට, ඒ වගේම මම ගොඩයි මඩයි දෙකම හොදට අදුරන මනුස්සයෙක්. කරිජ්ජ හොදට අදුරන මිනිසෙක් විදිහට මම ඔබට එක දෙයක් ඉතාම පැහැදිලිව කියනව.. වෙරල හොයාගෙන එන ඒ රැල්ලම තමයි ඒ වෙරල හෝදගෙන ආපහු මුහුදට යන්නෙත්. ඒ හින්ද දැන්වත් මේ රටේ ජනතාව මේක අවබෝධ කරගතයුතයි. සැරෙන් සැරේ එන මේ එක එක ජාතියේ රැලි වලට අහුවෙන්න එපා කියලා. ඒ ඔක්කොම රැලි මේ වෙරල හොදගෙන ආපහු මුහුදට යනවා. කිසිම වෙලාවක ඒ කිසිම රැල්ලකින් මේ රටට මේ රටේ ජනතාවට මේ රටේ ආර්ථිකයට හොදක් වෙන්නෙ නැහැ.

ගෙයක් කියන්නෙ අපට මතකයන් කන්දරාවක්. ගෙයක් කියන්නෙ අපට හැගීම් වරුසාවක්. ගෙයක් කියන්නෙ අපට සංස්කෘතියක්. එහෙම ගෙයක් ගිනි ගන්නකොට අපි මොකද කරන්නෙ? ඒ ගේ දාලා දුවනද? එහෙම නැතිනම් ඒ ගේ ගින්නෙන් බේරගන්න අපට කරන්න පුලුවන් ඕනම දෙයක් කරනවද? නිසැකවම අපි අපේ ගෙදර බේරගන්නවා. නමුත් අපේ රට කියන මේ ගෙදර ගිනි ගන්නකොට ඒක දාල දිව්වෙ කවුද? ඒ ගෙදර බේරගන්න බය නැතුව ඉදිරිපත් වුනේ කවුද කියන්න මේ රටේ ජනතාව හොදට මතක තියාගන්න ඕන. අපිවත් අපේ ජනාධිපතිතුමාවත් ඒහෙම ඇග බේරගෙන දුවල ගියේ නෑ. අපි මේ ගෙදර ගින්නෙන් බේරගන්න අපිට කරන්න පුලුවන් හැමදේම කරනවා. උපරිම කැපවීමෙන් අපි ඒ වැඩේ කරනවා. ඒක තමයි අපේ එකම අපේක්ෂාව. අපිටවත් ජනාධිපතිතුමාටවත් වෙන කිසිම සැගවුනු න්‍යාය පත්‍රයක් නෑ. ජනතාවට නොකියන කියන්න බය කිසිම න්‍යාය පත්‍රයක් අපට නෑ. සමාජ මාධ්‍ය මර්ධනය කරල ජනතාවගෙන් සගවන කිසිම න්‍යාය පත්‍රයක් අපට නෑ.

අර බෙලි ගෙඩියක් වැටුනාම ලෝකෙ පෙරලෙනව කියලා දුවලා මුළු රටම ගිනි තියන්න අවකාශයක් සැලසීම වැලක්වලා රට සමාකාමීව ඉදිරියට ගෙනියෑමටයි අපි මේ කටයුතු කරන්නේ. මේ වෙලාවෙ මට අපේ පරණ සිංහල ගීතයක් මතකයට එනවා. ඒ තමයි නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී කියන ගීතය. අපි සිංහල, දෙමළ, මුස්ලීම් කියලා බෙදපු හැම වෙලාවකම අපේ රට ආගාධයට වැටුනා. අපිව ආගම් විදිහට බෙදුවා, ජාතීන් විදිහට බෙදුවා. ඒ හැම වෙලාවකටම අපි වැටුනා. මේ විතරක් නෙමෙයි අපේ පළාත්වල තවමත් බරපතල ලෙස තියෙන කුල භේදයන් පවා පැත්තකට දාලා එකතු වුනොත් ජයගමු ශ්‍රී ලංකා කියන්නේ සිහිනයක් නෙමෙයි.

මේ කියන් දේ තේරුම් ගන්න අපට උපාධි ඕන නෑ. මේ කියන්නෙ අර වටු කුරුල්ලන්ගෙයි වටු වැද්දගෙයි කතාවම තමයි.
එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තරුණ තරුණියගෙන් බ්‍රෙස්ලට් ඕනද කියල ඇහුවා. එතකොට හැමෝම ඒ කතාවට හිනා වුනා. ඒත් එක් තමයි එතුමාගේ දේශපාලන දර්ශණය. ඔහු එදා මොකද්ද මේ කතාවෙන් ඇත්තටම අදහස් කලේ කියලා අද මම ඔබට කියන්නම්. එතකොට ඔබට තේරෙයි ඇයි ඒ කතාව අපට නොවැටහුනේ කියලා. බ්‍රෙස්ලට් එකක් කියන්නෙ අපට තියෙන අතිරික්ත ධනයට. අතිරික්තයක් නැති කෙනෙකුට කවදාවත් ඒ වගේ දෙයකට මුදල් හොයාගන්න, හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අතිරක්ත මුදල් තිබෙන යුගයක් නිර්මාණය කිරීමයි අපි අද මේ සිදුකරමින් ඉන්නනේ.
ඒ නිසාමයි අපි ස්මාට් තාරුණ්‍යක් හදන්නේ. ස්මාට් වැඩ්ඩන් හදන්න කටයුතු කරන්නේ. ඒ නිසයි වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ. ඒ වෙනුවෙන්මයි ස්මාට් පන්තිකාරම ඇති කරන්නත් අපි කටයුතු කරන්නේ. ඒ මෙහෙයුමට උවමනා කරන මතවාදය තමයි රනිල්වාදය කියන්නෙ. රනිල්වාදය රහිතව අපට මේ රටට, මේ රටේ අනාගත පරපුරට උවමානා කරනා අතිරිකත ධනය ගොඩනගන්න බැහැ. අපිට නැවතත්ත නැගිටින ජාතියක් වෙන්න නම් අපි බෙදෙන්නේ නැතිව එක්වට කටයුතු කළයුතුයි. රනිල්වාදය තමයි අපට තියෙන එකම විකල්පය. අපට තියෙන එකම බලාපොරොත්තුව.

සමහරු හිතනව අපේ කාන්තාවන් ලේසියෙන්ම රවට්ටන්න පුලුවන් කියල. හිනාවෙලා ඔවුන්ව සමඟ ඡායාරූප ගත්තහම මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඡයාරූප අගෙන කාන්තාවන් මුලා කරන්න වත් රටේ ප්‍රශ්න විසඳන්නවත් බැහැ. ඇත්තටම මේ ප්‍රශ්නය ජයග්‍රහනය කරන්න හැකිවෙන්නේ ජයග්‍රහනය සඳහා වු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. අද කාන්තාවන්ගේ මූලික ගැටලු වලට විසදුම් ලැබෙමින් පවතිනවා. කාන්තාවට තිබුණ මුලිකම ප්‍රශ්නයක් වුනේ සැමියා අයිස් ගහන එක, කුඩු ගහන එක. ඒත් අද යුක්තිය මෙහෙයුම හරහා ගංජා, කුඩු, අයිස් ඉතාම වේගයෙන් අත් අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ වෙනුවෙන් පොලිසිය සුවිශේෂී කාර්යක් ඉටුකරනවා. ඒ නිසා අද සාමකාමී පරිසරයක් ගෙවල් වල නිර්මාණය වී තිබෙනවා. එහෙම නැතිව කාන්තාවන් දහස් ගණනක් ගෙනල්ලා ෆොටෝ ගැහුවා කියලා ඔවුන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඒ වගේම අද වෙනකොට රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. ඒවගේම වැඩි වුන විදුලි බිල නැවත වතාවක් ඔක්තෝම්බර් මාසයට පෙර පැවති බිල තමයි ගෙවන්න වෙන්නේ කියලත් මම කියන්න කැමතියි.

වෙනස පටන් ගන්න ඕන අපේම ගෙදරෙන්. අපේම හදවත් ඇතුලෙන්. ඒ නිසා විදේශ ගත ශ්‍රමිකයින් වගේ රටේ ඉන්න සියලුම ශ්‍රමිකයින් නූතන වැඩ ලොකයට ගැලපෙන විදිහට සකස්කරලා රනිල් වික්‍රමසිංහ මහතා එක්ක ගොඩ නගන වැඩිපිළිවෙලකට එක්වෙන්න කියලයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. කෑගල්ල ජනතාවට අපි විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ කාර්යාලයක් ඉක්මණින්ම ලබාදෙන්න කටයුතු කරනවා.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: