hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 6:27



වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවී ඇති බවත් උඩ සිට පහළට ක්‍රීඩාව සුද්ධ කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.

එමෙන්ම තම පියා නිර්මාණය කළ ආසියානු ක්‍රිකට් කවුන්සිලය අදවනවිට සූදු සමාගම්වලින් අනුග්‍රහය ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමාට කනගාටුවක් පවතින බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

‘ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති මම. වරදවා තේරුම් ගන්න එපා ක්‍රිකට් බෝඩ් එකේ නෙමෙයි. මේ පදනම ආරම්භ කළේ මගේ පියා වන ගාමිණී දිසානායක මහතා 1982 වර්ෂයේදීය. අපිට යම් කිසි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මම ශාන්ත ඇලෝසියස් විදුහලේ ක්‍රිකට් කණ්ඩායමට රු. ලක්ෂ 05ක් ලබාදෙන්න පොරොන්දු වෙනවා. ඊටත් අමතරව තවත් ක්‍රීඩාවලට සම්පත් අවශ්‍ය නම් අපේ පළාත් සභාවෙන් ලබාදීමට මම ප්‍රතිඥා දෙනවා.

1996දී අපි ක්‍රිකට් ලෝක ශූරයින් වුණා. හැබැයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ කණ්ඩායම පන්දුවාර 10කට සීමාවෙලා ලකුණු 50කට දැවී යනවා. ඉතාමත් කනගාටුදායකයි. බොහෝ අය කියනවා මේක විශාල වශයෙන් පාවාදීමක් කියලා. මම එහෙම හිතන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම ක්‍රිකට් මුදල්වලට යටවෙලා කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්.

දැන් මේ අම්මලා තාත්තලා මේ දරුවෝ ආසියානු කුසලානය ටීවී එකෙන් බලනකොට දැන්වීමක් දකින්න ඇති වන්එක්ස්බැට් කියලා. බැට් එක අල්ලාගෙන ඉන්නවා කොල්ලා, බැට් එක ටක් ගාලා ලොකු වෙනවා. මොකක්ද මේ වන්එක්ස්බැට් කියන්නේ. මම මේක ගූගල් එකේ ගහලා බැලුවා. වන්එක්ස්බැට් කියන්නේ බැට් නෙමෙයි බෙට්. එතකොට යන්නේ බෙටින්ග් සයිට් එකකට. බෙට් කියන්නේ මොකක්ද? බෙට් කියන්නේ සූදුව. ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මේ තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සූදු සමාගමක්. ඒ මට්ටමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා. මම මේ හැගීම්බරව කියන්නේ මගේ තාත්තා නිර්මාණය කරපු ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඇයි මේ බෙට් කරන සූදු කරන සමාගම්වලින් අනුග්‍රහයක් ගන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මොකක්ද මේකට කියන්නේ. අපි සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කළ යුතුයි උඩ ඉඳලා පහළට.

එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 ජනවාරි මාසයේ මට ක්‍රීඩා ඇමතිකම දුන්නා, මම එතුමාගෙන් ගිහින් ඇහුවා මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍යයි, මම මොකක්ද කරන්න ඕනේ කියලා. එවෙලේම කිව්වා අතුරු කමිටුවක් දාන්න කියලා. එතකොට මම ඇහුවා කොහොමද අපි මේ ගනුදෙනුව අයිසීසීය සමග බේරාගන්නේ, ඒ අය එකට කැමති නැහැ කියලා. එතකොට කිව්වා මම මෝඩි අගමැතිතුමාට කතා කරලා ඒක බේරලා දෙන්නම් කියලා. මම එක හෙළාම අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතාව පත්කළා අතුරු කමිටු සභාපති විදිහට. ඉතාමත් දක්ෂ ලෙස එතුමා ක්‍රිකට් ආයතනය මාස 08ක් පාලනය කළා. තවත් ක්‍රීඩා ඇමැති කෙනෙක් ආවා. අපි කරපු උත්සාහයන් පැය 24න් නැති කරලා දැම්මා. එමනිසා මුදල්වලට යටවෙන්න බැහැ. ක්‍රිකට් කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන තැනක්.

අපි තව සති 03කින් ඉන්දියාවට යනවා ලෝක කුසලානය ක්‍රීඩා කරන්න. මේ තියෙන රෙකෝඩ් එක්ක මම හිතන්නේ නැහැ අපිට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් කියලා. මම ප්‍රාර්ථනා කරනවා සාර්ථකව මුහුණදෙන්න පුළුවන් වෙන්න කියලා. නමුත් බලන්න භානුක රාජපක්ෂට මොකද වුණේ. අද චාමික කරුණාරත්න කණ්ඩායමේ ඉන්නවද නැද්ද? මේ දක්ෂ ක්‍රීඩකයන්ට ඇයි මෙහෙම කැපිලි දාන්නේ. ඉතින් හැමතැනම උඩ ඉඳලා පහළට යනකන් තියෙන්නේ දේශපාලනය. දේශපාලනය කරන්නේ නැතුව අපි හරිදේ කරන්න ඕනේ. එනිසා මම හිතනවා අපේ ජනාධිපතිතුමා ඒ අවශ්‍ය පුද්ගලයන් සමග කතා කරලා ඒ හරි තීරණයක් ගනීවි කියලා.’ යනුවෙන් වැඩිදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: