hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 2:28



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිර ගියා.

නමුත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවටද ගොඩවී ඇතැයි වාර්තා වනවා.

ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවස පිහිටි ස්ථානයේ මෙම ජනරැළිය සංවිධානය කර තිබුණා.

ජන රැළියට සහභාවීමට පෙර ඇමතිවරයා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරතවී තිබෙනවා.

අනතුරුව රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ඇමතිවරයා රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද (27) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම සඳහා නැවත කොළඹ බලා පිටත්වූ බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේ දී විදේශගතව සිටි අතර ඒ හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ද සහභාගී නොවීය.

ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවට ඒ අතරවාරයේදී මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවයි.

ජනාධිපතිවරයාට සහාය පළකිරීම අලියා පිටේ නැඟීමක් නොවන බවද ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: