hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 10, ප.ව. 4:54



සියලුම අමාත්‍යාංශවලට මෙවර අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 5ක් කපාහැරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත්, එම තත්වය මත මෙම පියවර ගැනීමට සිදුව ඇති බවත් ඇමතිවරයා කීය.

ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇතැයි ද ජනවාරි මස සමෘද්ධි දීමනාව ලබාදීම ද සතියක් හෝ දෙකක් වැනි කාලයක් ප්‍රමාද විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

මේ අතර රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අද (10) මේ බව සඳහන් කළා.

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා. මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

එමෙන්ම මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අධියරයන් වශයෙන් වැඩපිළිවෙලක් මේ වන විට අදාල අමාත්‍යාංශ සමඟ සාකච්ඡා මට්ටමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: